ඇතැමුන් හොරුන්ට දඩුවම් දෙන බව පැවසුවත් දඬුවම් දෙන ක්‍රමවේදය කුමක් දැයි පවසන්නේ නැති බවත් සමගි ජන බලවේගය ඒ සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී නිරුත්තර රටක උත්තරය මැයෙන් පැවැති සමගි ජනබලවේගයේ මංගල ජන රැළිය අමතමිනි.සමගි ජනබලවේගයේ නායකයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඊට එක්ව සිටියහ. රැලිය පැවතියේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී ය.

පාස්කු ප්‍රහාරය ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ කිසිවෙකුට ඉන් ගැලවී යාමට ඉඩනොදෙන බවද පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට කිසියම් හෝ ආකාරයකින් සම්බන්ධ කිසිවෙකුත් සමග දේශපාලනයක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා,කිසිවිටෙකත් කුමන තත්වයක් යටතේවත් ඔවුන් ආණ්ඩුකරණයට සම්බන්ධ කරනොගන්නා බවද පැවසීය.

අද කඩමණ්ඩිවලට පැමිණ උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් තමන් වෙනස් බව පෙන්වීමට උත්සාහ කරන ඇතැම් කණ්ඩායම් ඉතිහාසය අමතක කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,පළමු වර්තාවට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරුන් මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරු බවට පත් වූයේ ද ඔවුන් යැයි පැවසීය.

එයින් නොනැවතී මේ රට බංකොලොත් කළ රාජපක්ෂවරු බලයට ගෙන ඒමට ප්‍රමුඛතම ශක්තිය ලබා දුන්නේ ඔවුන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ පාප කර්මයෙන් ඔවුන්ට ගැලවීමට නොහැකි යැයිද පැවසීය.

ඉතිහාසයේ පළමු වතාවට මෙවර සමගි ජන බලවේගයෙන් පළාත් පාලන නියෝජිතයින් පත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් කිසිවකුට වංචා දූෂණ සිදුකිරීමට ඉඩ නොතබන බවද පැවසීය.

ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, රටපුරා සියලු ප්‍රාදේශීය සභා නොනිදන ප්‍රාදේශීය සභා බවට පත් කරන බවද පැවසීය.

ප්‍රාදේශීය සභාවේ සභාපතිට හෝ උප සභාපති ද එක්ව අයථා ගනුදෙනු සිදු කිරීමට ඉඩ නොලැබෙන පරිදි සියලු ගම් නියෝජනය වන ආකාරයේ අධීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඊට තරුණ නියෝජිතයින් පත් කරන බවද පැවසීය.

රට පුරා පළාත් පාලන ආයතන ගොඩනැගීම උදෙසා කැපකරු ක්‍රමයක් ඇති කිරීමත්,ලෝකයේ පළාත් පාලන ආයතන ක්‍රමය ස්ථාපිතව ඇති රටවල් සමඟ මිත්රත්ව පළාත් පාලන ආයතන වැඩපිළිවෙළක් සකස් කිරීමත්,සෑම මොහොතක්ම මහජන සුබසිද්ධිය උදෙසා කැපවන පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය කිරීමත් සිය ඒකායන අරමුණ බවද පැවසීය.