දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිධූරයට පත්කිරීම අභියෝගයට ලක්කරමින් හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ(18) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන බව සඳහන්.

මුජිබර් රහුමාන් මහතා ගොනුකළ පෙත්සමෙන් පෙන්වා දෙන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධූරයට පත්කිරීමේ ක්‍රියාවළිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකර නොමැති බවයි.

තෙන්නකෝන් මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දරන අවස්ථාවේ පාස්කු ප්‍රහාරයට පෙර තොරතුරු ලැබීමත්, 2022 වසරේදී ගාලුමුවදොර විරෝධතාවට එල්ලවූ ප්‍රහාරය ඇතුලු තවත් කරුණු මත පදනම්ව ඔහුගේ ධූරයේ වගකීම ඉටුකිරීමට අපොහොසත්වී ඇති බවද පෙත්සමේ සඳහන්.

ඔහු ස්ථිරලෙස පොලිස්පතිධුරයට පත්කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නීතියේ ආධිපත්‍යයට සෘජු පහරක් බවත් ජනාධිපතිවරයා විසින් තනතුර ස්ථිර කිරීමට යෝජනා කිරීමත් ව්‍යවස්ථා සභාව එය අනුමත කිරීමත් ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතීන් උල්ලංඝණය කිරීමක් බවත් පෙත්සමෙන් පෙන්වා දි තිබෙනවා.

මේ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ධුරයට පත්කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙන බව සඳහන්.

පෙත්සම් විභාගය අවසන්වන තෙක් වැඩබලන පොලිස්පතිධුරයේ කටයුතු කිරීම අත්හිටුවන අතුරු නියෝගයක් ඉල්ලා සිටින මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ඔහු පොලිස්පති ධුරය භාරගැනීම වලක්වන නියෝගයක්ද පනවන ලෙසයි.