රටේ පාසල් 74කට වැඩි ප්‍රමාණයක අනාරක්ෂිත ගොඩනැගිලි පවතින බව අධ්‍යාපන ඇමතිවරයා පිළිගත් බවත් මෙකී පාසල් ප්‍රතිසංස්කරණය කරන්න මුදල් නොමැති නම් රට බංකොලොත් කළ පිරිසගෙන් එම මුදල් අය කර ගෙන පාසල් ප්‍රතිසංස්කරණය කිරිමට යොදවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේදි කියා සිටියේය.

තර්ස්ටන් විද්‍යාලය, තංගල්ලේ පාසලක්, සේරුනුවර සෝමාදේවි පාසල, දොම්පේ ප්‍රාථමික පාසලේ පවා අනාරක්ෂිත ගොඩනැගිලි ඇති බවත් දොම්පේ ප්‍රාථමික පාසලට මුදල් නොමැති නිසා එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ පිළිබඳ මාධ්‍ය ඔස්සේ අනාවරණය වූ පසු කලාප කාර්යාලයේ නිලධාරීන් අදාළ දොම්පේ විදුහලේ විදුහල්පතිවරයා ගෙන්වා තරවටු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර සෝමාදේවි පාසලේ දරුවෝ 300ක් ඉගෙන ගන්නා බවත් එම පාසලේ පන්ති කාමරවල හුබස් බැඳ සමහර පන්ති කාමරවල බෙන සකස් වී ඒවායේ නයි පවා සිටින බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ රට බංකොලොත් කළ පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අනාවරණය කර ඇති බැවින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඔවුන්ගෙන් රටට සිදුවූ පාඩුව අය කර ගෙන එම මුදල් පාසල් දියුණු කිරිමට යොදවන ලෙස යි.