ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ අත්තනෝමතික තින්දු තීරණ ගැනීමට හැකියාව තිබෙන්නේ තව මාස 3 ක කාලයක් බවත් ඉන්පසුව රට නිවැරදි දිශාවකට ගෙන යාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව යටතේ සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා මේ බව කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා,

“ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිධූරයේ ඉතිරි කාලය වෙනුවෙන් පත් කළ වැඩබලන ජනාධිපතිවරයාගේ ධූර කාලය නිල වශයෙන් අවසන් වෙන්න සති 6 ක් වගේ කාලයක් තිබෙනවා. ජුලි මාසයේ 17 වන විට මැතිවරණ කොමිසමට බලතල පැවැරෙනවා ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කිරිමට. වැඩබලන ජනාධිපතිවරයාගේ ධූර කාලය නිල වශයෙන් අවසන් වීමට තිබෙන සති 6 ක කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ලබාදෙන්න පුලුවන් උපරිම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ජනාධිපතිවරයා සහ රජය කටයුතු කරනවා.

රජය ජනතාවට විවිධ පොරොන්දු දෙනවා. නමුත් ඒ පොරොන්දු ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ජනාධිපතිවරයාගේ කාල සීමාව අවසන් වුණාම. ඒ වගේම ආණ්ඩුව දැන් කියනවා රටේ ආර්ථික ප්‍රශ්නය විසදුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ වගේම රටේ පෝලිම් යුගය අවසන් , රටේ තත්ත්වය හොදයි කියලා ජනාධිපති කියද්දි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කියනවා රටේ ආර්ථික තත්ත්තවය හොද නෑ ඒ නිසා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර දෙකකින් දිර්ඝ කළ යුතුයි කියලා. මෙයින් පෙනෙන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණයට බය වී ඇති බවයි.

ජනතාව විසින් ගෙදර යවපු රනිල් වික්‍රමසිංහ මහත්තයා එක කතාවක් කියනවා. ජනතාව විසින් ගෙදර යවපු පාලිත රංගේ බණ්ඩාර මහත්තයා තවත් කතාවක් කියනවා. මේ සියලු කතා වල අරමුණ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කිරිමට පියවර ගැනීමයි”