විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ අවිධිමත් ලෙස නිවාස ණය ලබා දීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 5564 කට අධික පාඩුවක් සිදුව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන සභාපති රජීව් සූරියාරච්චි පවසන්නේ කිසිදු පිළිගත හැකි වාර්තාවක් පදනම් නොකරගෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පැවැසීය.

එම නිවාස ප්‍රතිලාභීන්ගෙන් 53,709 දෙනකු ඒ සඳහා නුසුදුස්සන් බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් එලෙස නිවාස ලාභින් නොසුදුසුයි කියා තීරණය කළේ කුමන මිනුම් දණ්ඩක් යොදාගෙන දැයි ප්‍රශ්නයක් මතුවන බවත් සාගර පලන්සූරිය මහතා හෙතෙමෙ කීය.

පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්විජය සාගර පලන්සූරිය මහතා පැවැසීය.

‘‘ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසනවා සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැති කාලයේ දුන් ණයවලින් මිලියන 5,564 ක පාඩුවක් සිදුවෙලා තිබෙනවා කියලා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසන්නේ මෙම අවිධිමත් නිවාස ණය ලබා දීම වැඩි වශයෙන් සිදුව ඇත්තේ 2018 හා 2019 වසරවල බවයි. 2015 හා 2019 කාලය තුළ සජිත් ප්‍රේමදාස මහතා නිවාස 3,41,510ක් ඉදිකිරීම් ආරම්භ කර ඇතත් අවශ්‍ය ප්‍රතිපාදන ලැබී තිබුණේ නිවාස 2,33,578 කට පමණක් බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ කාලයේ නිවාස ණය ලබාදීමේ ක්‍රියාවලිය පිළිබද පරික්ෂා කිරීමේ දී නිවාස ප්‍රතිලාභීන්ගෙන් 53,709 දෙනකු ඒ සඳහා නුසුදුස්සන් බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සාමන්‍ය ජනතාවට නිවාස ණය සහ ආධාර ලබාදීලා ඔවුන්ගේ දායකත්වයෙන් නිවාස ඉදිකරන ආයතනයක්. නිවාස සංවර්ධන අධිකාරිය ස්වාධීනව කටයුතු කළ ආයතනයක්. එම ආයතනයට තිබුණ දේශපාලන මැදිහත්වීම අවමයි. ජනතාවට නිවාස ණය සහ ආධාර ලබාදීමේ වැඩසටහන සිදුකළේ විනිවිධ ආකාරයට.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැති කාලයේ දුන් ණයවලින් මිලියන 5,564 ක පාඩුවක් සිදුවුණ බව වර්තමාන සභාපතිවරයා පවසන්නේ පසුගිය රජය ඉවත් වෙලා අවුරුදු 5 කට පසුවයි. ආයතනයක රාජ්‍ය විගණනයක් සිදුවන්නේ අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් ඇතුළත. එසේ නම් මේ මිලියන 5,564 ක පාඩුව පිළිබඳව රාජ්‍ය විගණනය සිදුවෙලා ප්‍රතිඵලය ලැබිය යුත්තේ 2022 හෝ 2023 වසරවලදී. වසර 5 කට පසුව මැතිවරණයක් පැවැත්වීමට නියමිත කාල වකවානුවක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැති කාලයේ දුන් ණයවලින් මිලියන 5,564 ක පාඩුවක් සිදුවුණ බව කියන්නේ කුමන පදනමක් මත සිටද කියන ප්‍රශ්නය මතුවෙනවා. කිසිදු වාර්තාවක් පාදක නොකරගෙන තමයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා මේ බව ප්‍රකාශ කරන්නේ.

ඒ වගේම නිවාස ප්‍රතිලාභීන්ගෙන් 53,709 දෙනකු ඒ සඳහා නුසුදුස්සන් බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. එලෙස නිවාස ලාභින් නොසුදුසුයි කියලා තීරණය කළේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. එලෙස නිවාස ලැබීමට නොසුදුසුයි කියලා ප්‍රකාශ කරන්න මිනුම් දණ්ඩක් තිබිය යුතුයි. නිවාස ලාභීන් තෝරාගැනීම සිද්ධ කරන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින්. නිර්ණායක යටතේ තමයි එම තෝරාගැනීම සිදුකරන්නේ. ඒ අනුව ඔවුන් නොසුදුසුයි කියලා
ඉවත් කිරිමට හැකියාවක් ලැබෙන්නේ නෑ. නිවාස ලාභින් මේ සඳහා ගිවිසුමකට එළඹිලා තිබෙනවා. ඒ ගිවිසුම උල්ලංඝනය කළොත් පමණයි ඉවත් කරන්න හැකියාව තිබෙන්නේ.

නිවාස ප්‍රතිලාභීන්ගෙන් නුසුදුස්සන් බවට ජාතික නිවාස සංවර්ධන අධිකාරි ඉතිහාසයේ කිසිදවසක සිදුවෙලා නැති දෙයක්. නිවාස ප්‍රතිලාභීන් නුසුදුස්සන් නම් ඒ බව ඔවුන් අමාත්‍යාංශයට දැනුම් දීලා රජය දැනුවත් කරලා කැබිනට් මණ්ඩලය දැනුවත්ව තමයි නිවාස වැඩසටහනින් ඉවත් කළ යුත්තේ. රජයේ මුදල්වලින් තමයි ඔවුන්ට නිවාස ණය ලබාදිලා තිබෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ නිවාස ප්‍රතිලාභීන්ගෙන් 53,709 දෙනකු ඒ සඳහා නුසුදුස්සන් බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කරන්න නොහැකියි.

2018 හා 2019 වසරවල අවිධිමත් නිවාස ණය ලබා දීම වැඩි වශයෙන් සිදුව ඇති බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා. එම කාලය තුළ මැතිවරණ පැවැත්වීම හේතුවෙන් විශාල ණය මුදලක් ලබාදුන් බවද තික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා. මෙය පදනම් විරහිත කතාවක්. නිවාස සංවර්දන අධිකාරිය නිවාස ඉදිරිකිරිම සඳහා ණය මුදලක් ලබාදුන් පසුව එම නිවාස ඉදි කරන්නේ ජනතාව සමග. ජනතවා තමන්ගේ නිවස මාස 6 කින් අවසන් කරනවා , අවුරුද්දකින් අවසන් කරනවා , අවුරුදු එක හමාරකින් අවසන් කරනවා. වසරක් ඇතුළත නිවස ඉදිකළ යුතුයි කියලා නිවාස සංවර්දන අධිකාරිය කාල පරාසයක් ලබාදිලා තිබෙනවා. වසරක් ඇතුලත දිර්ඝ කරන්න නොහැකි වුණොත් ලබාදි තිබෙන කාලය දීර්ඝ කරනවා. ඒ අනුව වැඩි මුදලක් වැය වෙලා තිබෙන්නේ කලින් වර්ෂවල ලබාගත්ත නිවාස ණයවල අවිච්ඡේද ගෙවීමට. වැඩි මුදලක් ලබාදී තිබෙන්නේ නිවාස ණය සඳහා නෙවෙයි අවිච්ඡේද සඳහා නිවාස ණය ලබාදීමට.

2015 – 2019 කාලය තුළ රාජ්‍ය මුල්‍ය ආයෝජනයෙන් මිලියන 37,160 ක් වියදම් කරලා පවුල් තුන් ලක්ෂ අසූ හත්දහසකට නිවාස ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතාගේ කාලය තුළ නිවාස සංවර්දන අධිකාරියට හැකියාව ලැබිලා තිබෙනවා. අවුරුදු 5 ක් තුළ වැඩිම රාජ්‍ය අරමුදල් ප්‍රමාණයක් ලබාගන්න නිවාස සංවර්දන අධිකාරියට හැකියාව ලැබුණා. ඒ වගේම වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කරන්නත් නිවාස සංවර්දන අධිකාරියට හැකියාව ලැබුණා.

1978 රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිවරයාව සිටි කාලයේදී තමයි නිවාස සංවර්ධන වැඩසටහන ආරම්භ කළේ. ඒ කාලය හා සංසන්දනය කරන විට 2015 – 2019 කාලය තුළ තමයි වැඩිම රාජ්‍ය මුල්‍ය ආයෝජනයක් සිදුකරලා වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිකරපු කාලය.

2019 කාල පරිච්ඡේදය අවසන් වනවිට නිවාස 45,000 ක පමණ ඉදිරිකිරිම් අවසන් කිරිමට තිබුණා. මේ ප්‍රශ්නයට විසදුමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා 2019 ජනාධිපතිවරණ මැතිවරණයට පෙර මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරය දැනුවත් කළා. 2020 වර්ෂයේදී හෝ මේ සඳහා අවශ්‍ය මුදල් නිවාස සංවර්ධන අධිකාරියට ලබාදෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළා. නමුත් ඉන්පසු බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ සිටි නිවාස ඇමැතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලපු මුදල ලැබුණා. ඒ මුදල් වලින් සැමට සෙවන නිවාස වැඩසටහනේ ඉතිරි නිවාස ඉදිකිරිම් කටයුතු නතර කරලා අලුත් වැඩසටහනක් ආරම්භ කළා වසමට ගෙයක් කියලා. එය අසාධාරණ තීරණයක්. මහා භාණ්ඩාගාරය මුදල් ලබාදුන්නේ සැමට සෙවන නිවාස වැඩසටහනේ ඉතිරි නිම කරන්න. අවසානයේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ සිටි නිවාස ඇමැතිවරයා ආරම්භ කළ වසමට ගෙයක් වැඩසටහනත් අසාර්ථක වුණා.

සැමට සෙවන නිවාස වැඩසටහනේ ඉතිරිය නිම කරන්න මුදල් ලබාගැනීමට අලුත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසනවා. 2019 ඉදි කිරිම් නිම කිරිමට නොහැකි වෙලා තිබුණ නිවාසවල ඉකිරිම් කටයුතු නිම කරන්න මිලියන 3000 ක් ඉල්ලලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා.

වසර 5 කට පසු යහපාලන ආණ්ඩුව කාලයේ ඉදිකළ නිවාසවල වැඩකටයුතු නිම කරන්න කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තිබෙනවා නමුත් ආර්ථික අර්බුදය හමුවේ එම මුදල ලැබෙයිද නැද්ද කියලා විශ්වාස කරන්න නොහැකියි. ඒ වගේම මුදල් ලබාදුන්නත් ජනාධිපතිවරණයට පෙර එම නිවාස ඉදි කරලා අවසන් කරන්න හැකිද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ අනුව පැහැදිලි වෙනවා මේ කැබිනට් පත්‍රිකාව සම්පුර්ණයෙන් අසත්‍යයක් කියලා.

නිවාස හා ජනාවාස ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුත්තේ කුමන ආකාරයට කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අපි යෝජනා කරලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටි කාලයේ ඉදි කිරිමට නොහැකි වුණ නිවාස වල වැඩකටයුතු සහ වර්තමාන රජය යටතේ නිවාස වැඩසටහන යටතේ ඉදි කිරිමට නොහැකි වුණ නිවාස සඳහා එහිදී ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි. මාස 6 ක් ඇතුළත මේ කාර්යයන් නිම කළ යුතුයි. ඒ වැඩකටයුතු අවසන් වූ පසුව තමයි දෙවැනි නිවාස වැඩසටහනට යා යුත්තේ.

ඒ වගේම සමගි ජනබලවේග පාලනයක් යටතේ පෞද්ගලිකව නිවාස අවශ්‍යතාවය තිබෙන පුද්ගලයින්ගේ
නිවාස ඉදිකිරිම සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි. රජයට නිවාස වැඩසටහන සඳහා මුල්‍ය දායකත්වය ලබාදීමේ හැකියාවක් නෑ. ඒ නිසා ජාත්‍යන්තර සහ පෞද්ගලික ආයතන දායක කරගෙන තමයි ජාතික නිවාස වැඩසටහන ක්‍රියාත්මක විය යුත්තේ. ඒ වගේම දේශීය ඉදිකිරිම් කර්මාන්තයට මුල් තැන දෙමින් නිවාස ඉදිකිරිම් සිදුකළ යුතුයි. එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් රටේ තිබෙන භෞතික සැලැස්මට අනුකූලව නිවාස ඉදිකිරිම සඳහා ප්‍රමුඛතාවයක් දැක්වීම. එය ඉතාම වැදගත් කාරණයක්. ඒ සැලැස්මට අනුගත වෙමින් අනාගත නිවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක විය යුතුයි.‘‘