සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ (22)පස්වරුවේ පක්‍ෂ මූලස්ථානයේදී පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වූ පහත සඳහන් යෝජනා අනුමත කොට සම්මත කරන ලදී.

1. සමගි ජන බලවේගය සමග දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන සහ අනෙකුත් පාර්ශවයන් සමග සංධානයක් ගොඩ නැගීමට මෙයට පෙර පක්‍ෂ නායකතුමන්ට ලබාදුන් අනුමැතිය අනුව මේ දක්වා සිදු කර ඇති කාර්යයන් පිලිබඳව මහලේකම්තුමා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කරුණු පැහැදිලි කරන ලදී. සංධානය ගොඩ නැගීම පිලිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමේදී අවධානය යොමු කල යුතු කරුණු පිලිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කල කෘත්‍යාධිකාරී මණ්ඩලය  සංධානය ගොඩ නැගීමේ කටයුතු ඉදිරියට ගෙන යාමටත් සංධානය පිලිබඳව අවසන් තීරණ ගැනීමේ බලය පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට පැවරීමටත් ඒකමතිකව අනුමැතිය ලබා දුනි.

2. සමගි ජන බලවේගයට අනුබද්ධිත ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් වන ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය මහීම් මෙන්ඩිස් සහ ආචාර්ය නේවිස් මොරායස් යන මහතුන් රටේ ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව තුලින් පක්‍ෂයට ලබාදුන් වටිනාකමට මෙන්ම රටේ ජනතාවට වැදගත් වූ මෙම තීන්දුව ලබා ගැනීමට දුන් දායකත්වයට ඔවුන් තිදෙනාටත් එම පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ප්‍රසංසාව සහ ස්තූතිය පල කල යුතු යැයි පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන ආ යෝජනාව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ස්ථීර කල අතර එයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

3. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සමගි ජන බලවේගයට එරෙහිව පවරා තිබූ නඩුවට පෙනී සිටිමින් එම තීන්දුව පක්‍ෂයට ජයග්‍රහණයක් ලෙස ලබාදීමට ක්‍රියාකල ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිමි ඇතුළු නීතඥ මණ්ඩලයට ප්‍රසාදය පලකිරීමේ යෝජනාවක්ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත විය.

4. මත් ද්‍රව්‍ය  ලඟ තබාගැනීමේ චෝදනාවට ලක්වසිටින කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කල අමිත බණ්ඩාර මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීම, දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සහ පක්‍ෂයෙන් නෙරපා හැරීම සඳහා පක්‍ෂ නායකතුමා ගත් තීරණයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි විය.

Samagi Jana Balawegaya