තමා කටයුතු කරන්නේ නීතිය දැනගෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබූ බවත් නමුත් ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආරක්ෂාවට, සුභ සිද්ධියට නීතිය භාවිතා නොකර නීතියේ සිදුරු සොයමින් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

එය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමේ ක්‍රියාවලිය දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන බවත් එම ක්‍රියාවලියේ තිබෙන ව්‍යවස්ථානුකුල බව නිත්‍යානුකුල නොවන බව තහවුරු කරමින් අනීතික පොලිස්පති ධූරය අත්හිටුවීම වෙනුවෙන් අධිකරණයට ගෞරවය හිමිවිය යුතු බවත් නලින් බණ්ඩාර මහතා පවසනවා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. මෙය ඉතාමත් වැදගත් තීන්දුවක්. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෞරවය පිරිනමනවා. දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න තීන්දුව ජනාධිපතිවරයාට ලබාදුන්න තීන්දුවක් ලෙස අර්ථ කතනය කරන්නත් පුලුවන්. ඒ වගේම කතානායකවරයාටත් මෙම තීන්දුවෙන් පාඩමක් උගන්වලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයෙක් පත් කරයි කියලා සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙනවා. රටට අවශ්‍ය වන්නේ දක්ෂ පොලිස්පතිවරයෙක්. ඒ වගේම මැතිවරණයක් ආසන්නව තිබියදී පොලිස් ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීලා තිබෙනවා. මේ හරහා මැතිවරණයට යම් කිසි බලපෑමක් එල්ල වෙතැයි කියන සැකයත් මතුවෙනවා. පොලිස්පතිවරයාට සමගි ජනබලවේගය මුල සිට විරුද්ධ වුණා. ඒ ජනතාව පීඩාවට පත් කළ පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයෙක් බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එළි දක්වපු වාර්තා වල පොලිස්පතිවරයාගේ නම සඳහන් වුණ නිසා. නැතුව පෞද්ගලික හේතුවක් නිසා නෙවෙයි.

දිනන සජිත් සමඟ එකතු වෙන්න

නීතිය අවභාවිතා නොකට අත්තනොමතික විධායක ජනාධිපතිවරයෙක් නොවී අවසාන මාස කිහිපයේ පිරිසිදු පාලකයෙකු ලෙස කටයුතු කරන්නැයි ඉල්ලා සිටිනවා. නමුත් ඔහුව පිරිසිදු පාලකයෙක් ලෙස නම් කිරීමට නොහැකි වෙලා තිබෙන්නේ අපිරිසිදු සන්ධානයකට නායකත්වය ලබාදෙන නිසා. ජනාධිපතිවරයා රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ කණ්ඩායමකට තමයි නායකත්වය ලබාදෙනවා. රටේ පාලනය භාර දිය හැකි පිරිසිදු කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බව ජනතාව දන්නවා. ඒ වගේම දින කිහිපයක් ඇතුළත සමගි ජන සන්ධානය නිර්මාණය කරන්න කටයුතු කරනවා. සමගි ජන සන්ධානයට එකතු කර ගන්නේ අගයක් තිබෙන පුද්ගලයක් පමණයි. ඒ වගේම ජනාධිපතිවරණයේදී නියත ජය ලබාගැනීමේ හැකියාව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට තිබෙනවා. ඒ ජයග්‍රහනය විජයග්‍රහනයක් කරන්න සියලු කටයුතු කළ යුතුයි. රටේ වැඩ කරන නායකයෙක් ඉන්නවා , වැඩ කරමින් සිටින නායකයෙක් ඉන්නවා , වැඩ පෙන්නපු නායකයෙක් ඉන්නවා ඒ නායකයා දිනවන්න සියලු දෙනාට එකතුවෙන්න කියලා ආරාධනා කරනව. ඒ වගේම ජනාධිපතිවරයාට රටේ ජන මතයක් නෑ. රැස්වීමකට ජනතාව ඒකරාශි කරගැනීමට හැකියාවක් නෑ. ජනාධිපතිවරයා බොරු කරලා තමයි ජනතාව රැස් කරන්නේ. පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටු කැඳවලා , රජයේ නිලධාරින් කැදවලා , බඩු මලු දීලා ජනතාව කැඳවලා තමයි ජනාධිපති රැස්වීම් පවත්වන්නේ. නමුත් සමගි ජනබලවේගයට එවැනි කිසිදු ප්‍රශ්නයක් නෑ. ජනබලය , ජන රැල්ල තිබෙන්නේ සමගි ජනබලවේගයට. දිනන සජිත් සමඟ එකතු වෙන්න කියලා සියලුම දෙනාට ආරාධනා කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ කාගේ කලු සල්ලිද සුදු කරන්න යන්නේ

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා කලු සල්ලි සුදු කරලා රටේ සංවර්ධනයට යොදා ගන්නවා කියලා. කලු සල්ලි සුදු කරලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරන්න බෑ. ඒ වගේම මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනුමත කරන්නේ නෑ. මෙම කාරණා රටක් ලෙස නොකළ යුතු කාරණා ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඔවුන්ගේ කොන්දේසි වල සඳහන් කරලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කාගේ කලු සල්ලිද සුදු කරන්න උත්සහ ගන්නවාද කියන සැකය මතුවෙනවා. මෙවැනි ප්‍රකාශ හරහා ජනතා විමුක්ති පෙරමුණ සතුවත් කලු සල්ලි තිබෙනවාදැයි කියන සැකයත් මතුවෙනවා.