තවදුරටත් දේශපාලන සූදුවලට හසු නොවී දැන්වත් දරු පරපුර සහ රටේ අනාගතය සහ වර්තමානය ගැන සිතිය යුතු බවත් මේ දේශපාලන සූදුව නිසා ජන සමාජය සහ සංස්කෘතිය කඩා වැටෙනා බවත් කුඩා කාලයේ සිට දරුවන්ට වැරදි ගුණාංග ලබා දෙන ක්‍රමවේදයක් මේ වන විට සමාජයේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විවිධ වරදාන වරප්‍රසාද නිසා මත්පැන් බලපත්‍ර ලබා දෙන සූදුවක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක බවත් පාසල්, විහාරස්ථාන ඉදිරිපිට දරු පරපුර ගැන නොසිතා නිර්ලජ්ජිත ආකාරයට මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් වේදිකාවල මතට තිත කියා මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් ජනාධිපතිකම්, අගමැතිකම්, මැති ඇමතිකම්වලට ඇති කෑදරකම නිසා එවැනි දේවල් සිදු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (26) ත්‍රිකුණාමලය සේරුවිල මොරවැව මහදිවුල්වැව ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 203 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ත්‍රිවිද හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා

මේ වන විට සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරීන්ට රු. ලක්ෂ 30ක් ගෙවා ගෙදර යැවීමේ සැලසුමක් ඇති බවත් මේ ගැන වාර්තා වූ විගසම තමා පාර්ලිමේන්තුවේ හඬක් නැගූ බවත් යුද සමයේ සුවිශාල කාර්යභාරයක් ඉටු කළ සිවිල් ආරක්ෂක සේවාව යුද ජයග්‍රහණයෙන් පසු අතහැර දමා ඇති බවත් මෙවන් යුගයක ත්‍රිවිද හමුදාවත් පොලිසිය සහ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමට තමා පෙනී සිටිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුපිරිසිදුයි කියා ගන්නා විප්ලවවාදීන් තමයි රාජපක්ෂලාව බලයට ගෙන ආවේ

සුපිරිසිදුම කණ්ඩායම යැයි කියා ගන්නා විකල්ප යැයි පිරිස් පසුගිය වසර ගණනාව පුරා ආණ්ඩු සකස් කිරීමට මුක්කු ගැසූ බවත් ඔවුන් රට බංකොලොත් කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා ඔප්පු වූ රාජපක්ෂලා බලයට ගේන්න පවා රැස්වීම් තියමින්, ගෙන් ගෙට යමින් මැතිවරණ ප්‍රචාරණය පවා සිදු කළ බවත් එසේ සිදු කළ මේ අය සුපිරිසිදු විකල්පය යැයි කියමින් සක්වල හා හුස්ම වැඩසටහන් නිර්දය ලෙස විවේචනය කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු පන්ති කාමර උපකරණ, පරිගණක, ශබ්දකෝෂ ආදිය ලබා දීම සාපරාදී ක්‍රියාවක් නොවන බවත් මේ හැමදෙයක්ම කරන්නේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට බවත් මේ විකල්ප යැයි කියා ගන්නා අය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා යැයි කයිවාරු ගැහුවත් ඔවුන් කරන්නේ නිදහස් අධ්‍යාපනයට බාධාවන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ උපාධිධාරීන් 50000ක් රැකියා පෝලිමේ

වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකරණ ආදී ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු කොට බහුතරයක් ක්ෂේත්‍ර රැකියා වෙළෙඳපොළට නොගැලපෙන බවත් මේ නිසා විශාල විරැකියා පෝළිමක් ඇතිව තිබෙන බවත් මේ වන විට උපාධිධාරීන් 50000කට අධික ප්‍රමාණයක් රැකියා නොමැතිව සිටින බවත් අප රටේ එවැනි තත්ත්වයක් තියෙන විට එක්සත් රාජධානිය වැනි රටවල රස්සා ලබා දීමට සමාගම් හා ආයතන විශ්වවිද්‍යාවලට පැමිණෙන බවත් අප රටේ අධ්‍යාපනයේ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වී ඇත්තේ මේ හේතුව නිසා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සිංහල පමණයි කියූ නිසා තමයි රටට මෙහෙම වුණේ

සිංහල පමණයි කීම නිසා 50 දශකයේ සිට මෙරට පරම්පරා රාශියකට විධිමත් ක්‍රමවත් නූතනවාදී අධ්‍යාපනය අහිමි වූ බවත් මේ නිසා සිංහල පමණයි දමිළ පමණයි කියමින් මැතිවරණ ව්‍යාපාරවල නිරත වීමට දේශපාලනඥයන් කටයුතු කර ඇති බවත් මේ නිසා පාසල් දරුවන්ට සිදු වූයේ අගතියක් බවත් එම නිසා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය දැන්වත් ප්‍රවර්ධනය කළ යුතු බවත් ඒ තුළින් ලෝකයේ විශාලම ආර්ථික වෙළෙඳපොළවල් ඉලක්ක කර ගෙන ශ්‍රම වෙළෙඳපොළ සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 203ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2255ක් වැය කර තිබේ.