දෙවිනුවර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ මධ්‍ය ලේකම් කනිෂ්ක කුරුගම මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගය සමග එකතු වන බවත් දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා සමග අත්වැල් බැඳ ගන්නා බව මුහුණු පොතේ සටහනක් පළ කරමින් දන්වා ඇත.

එම සටහන මෙසේය ,

“ඊයේ දිනයේදී (2021/11/20) දින මා විසින් එක්සත් ජාතික පක්ෂයේ සියළුම දේශපාලන කටයුතු සහ තනතුරු වලින් ඉවත්වන බව දන්වා සිටි හෙයින් ඒ පිළිබඳව කෙටි සටහනක් තැබීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

මාගේ දේශපාලන තිඹිරි ගෙය සහ මහගෙදර වන එක්සත් ජාතික පක්ෂය පිළිබඳව හෝ එහි නායකත්වය පිළිබඳව කිසිඳු විවේචනයක් මා තුල නොමැති අතර මා හට කිසිඳු අසාධාරණයක් සිත් රිදීමක් හෝ සිදු වී නොමැත. එමෙන්ම පෙර තිබූ ගෞරවයද එලෙසින්ම ඉදිරියටද පවතිනු ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගොස් අප සහෝදර දේශපාලන කඳවුරක් වන සමගි ජන බල වේගය සමඟ සහ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා හා එක්ව මාගේ ඉදිරි දේශපාලන කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමට මා විසින් තීරණය කරණු ලැබුවේ මාගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව මා විසින් ගන්නා ලද පුද්ගලික තීරණයකට අනුවය.

මාගේ තීරණය හේතුවෙන් මෙතුවක් කල් මා ගැන තැබූ විශ්වාසය පළුදු වීමක් හෝ යම් කිසි සිත් රිදීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව මාගේ කනගාටුවට ප්‍රකාශ කර සිටිනවා. මාගේ තීරණය පිළිබඳ විවේචන ඇත්නම් මා ඒවාටද ගරු කර සිටිනවා.

මා එක්සත් ජාතික පක්ෂය තුල ක්‍රියාකාරීව රැඳී සිටි දශකයකට අධික කාලය තුල මා විසින් මාගේ උපරිම ඊට ලබා දුන් බව මා විෂ්වාස කරනවා.

එමෙන්ම මාගේ තීරණය දැනගත් විගස ඒ පිළිබඳව විමසූ හිටපු අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා ඇතුළු සැම වෙත මාගේ ගෞරවාන්විත ස්තුතිය පුදකර සිටිනවා.

මා විසින් ගත් තීරණය කිසි සේත්ම පහසු තීරණයක් නොවීය. නමුත් ඇතැම් තීරණ අපහසුවෙන් වූවත් ගැනීමට සිදුවනු ඇත. මා දැන් ඒ අපහසු තීරණය ගෙන අවසන්ය.

ඉදිරියේදී සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු ලෙස මාගේ උපරිමය ලබා දීමට මා කටයුතු කරන බවත් මෙයින් දන්වා සිටිනවා.

ස්තුතියි.
කනිෂ්ක කුරුගම
(2021/11/21)”