සෞඛ්‍ය අමාත්‍යාංශයේ පලනය තවමත් දුෂිතයන්ට යට වී ඇති බවත්,මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය, නැවත වතාවක් හොරකම් වලට අවශ්‍ය වටපිටාව සකස් කර ගනිමින් සිටින බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

වෛද්‍ය සැපයීම් අංශයේ සොරකම් හසු කරගෙන වසරකට ආසන්නව තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි වී තිබීමත් එවන් පසුබිමක සොරකම් සිදුවීම නවත්වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

එම තත්ත්වය හමුවේ හදිසි මිලදී ගැනීම් හත්සිය වතාවකට වඩා පහුගිය මාස තුනක කාලය තුළ සිද්ධ වී ඇති බවත්, ජාතික රෝහල ඇතුළු විශාල රෝහල් පවා බෑග් වලින් බෝට්ටු වලින් ගේන බෙහෙත් මිලදී ගන්න තත්ත්වයට ක්‍රමය පරිවර්තනය කරගෙන තිබෙන බවත් ඔහු සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

” අපි මේ වෙනකොටත් ඖෂධවලට ගෙවන්න ඕනේ මිලට වඩා දහගුණයක් විතර ගෙවනවා. සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට කරන්නේ නැති වුණාම, හදිසි ප්‍රසම්පාදනය, දේශීය මිලදී ගැනීම් සාමාන්‍යකරණය වෙනවා. පහුගිය කාල සීමාව ඇතුළේ හොර ඖෂධ ආවේ, බාල ඖෂධ ගෙනාවේ, සාමාන්‍ය මිලට වඩා විශාල මුදලකට ඖෂධ ගැනීමේ ගසා කෑම සිද්ධ වුණේ, මේ විදිහට සාමාන්‍ය ප්‍රසම්පාදනය වුවමනාවෙන්ම නතර කරලා දාපු නිසා.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂක,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා, රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා යන තිදෙනාම වැඩ බලන අය.මේ අය අදාළ තනතුරු වලට සුදුසු අයත් නෙවෙයි.එහෙම සුදුසු අය පත් කරන්න සෞඛ්‍යය අමාත්‍යාංශයට වුවමනාවකුත් නැහැ.

මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, නැවත වතාවක් හොරකම් වලට අවශ්‍ය වටපිටාව සකස් කර ගනිමින් සිටිනවා. ඖෂධ විශාල ප්‍රමාණයක් හිඟයි. ප්‍රතික්‍රියක නැති නිසා පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදුකෙරෙන්නේ නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කරන්න රසායනාගාර සේවා අංශය වත්, වෛද්‍ය සැපයීම් අංශයවත්, හරියට වැඩ කරන තත්ත්වයකට ගේන්න වර්තමාන සෞඛ්‍යවරයාගේ පාලනයට පුළුවන් කමක් ලැබිල නැහැ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුසිමක් හිරේ යවලත්, ඒ ක්‍රමය වෙනස් කරන්න වර්තමාන පරිපාලනයට බැරිනම්, ඒකෙන් කියවෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තාමත් දූෂිතයන්ට සහ දූෂිත ගනුදෙනුවලට යට වෙලා සිටිනවා කියන එකයි”

දුමිදු ලංකා බණ්ඩාර