අද වන විට රටේ පවතින්නේ දුටු දුටු තැන සමාජ ආර්ථික අසාධාරණත්වය රජවීම බවත් සුළුතරයකගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්න බහුතරය යටකර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් චෞර තන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බවත් පටු වාසි තකා මේ රටේ සුවහසක් ජනතාව ලක්ෂ 220ක් ජනතාව බිල්ලට තබා මේ ක්‍රියාත්මක වන අසාධාරණ ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තරුණයන් ඉල්ලා සිටින වෙනස වන්නේ අනුග්‍රහවාදය වෙනුවට, ගැතිකම්මත යාළු හිතවත්කම් මත සම්බන්ධකම් මත ක්‍රියාත්මක ක්‍රමය වෙනුවට කුසලතාවාදයට මුල් තැන ලබා දීම බවත් දූෂණය වංචාව හොරකම වෙනුවට පාරදෘශ්‍යභාවය සහ නිකැලැල්වාදයත් අධිපතිවාදය වෙනුවට සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයත් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට, වීරකැටියේ පැවැති සමගි විහිදුම් බලගණයේ රැස්වීම අමතමිනි.

අද වන විට රටේ තරුණයන් පුරවැසියන් විවිධ නායකයන්ගේ අමනෝඥ තීන්දු තීරණ නිසා විපතට පත්ව ඇති බවත් රැකියා වෙළෙඳපොල අධ්‍යාපනය ව්‍යවසායකත්වය හා සමාජ ආරක්ෂණය නැති වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට බංකොලොත් වුණේ පුරවැසියන් නිසා නොව රාජ්‍ය දේපල අවභාවිතා කළ පාලකයන් නිසායි

එසේ ම මෙරට ආර්ථිකය කඩා වැටුණේ තරුණ තරුණියන් හෝ පුරවැසියන් නිසා නොව රට සින්නක්කර ඔප්පුවකින් අයිති කර ගත් පුද්ගලික දේපලක් ලෙස භාවිත කළ පාලකයන් නිසා බවත් එම නිසා මේ තත්ත්වය වෙනස් කර තරුණයන් වෙනුවෙන් තරුණ සංවර්ධන අරමුදල් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයට තරුණයන් සහභාගී කරවා ගැනීමටත් නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කිරීමටත් ඒ සඳහා අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් ඇති කරවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අද ක්‍රියාත්මත ශීඝ්‍ර තාක්ෂණික විප්ලවය තුළ සාම්ප්‍රදායික රැකියා ඉවත් වන නිසා අපේ දුවා දරුවන් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කළ යුතු බවත් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතු බවත් රටේ දරුවන් සුහුරු පුරවැසියකු බවට පත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් රටේ ඇති සියලුම යොවුන් සේනාංක, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආදිය සුහුරු තරුණයන් ගොඩනගන මධ්‍යස්ථාන බවට පත් කරන බවත් ඒ තුළින් තරුණ තරුණියන් දේශපාලනඥයන් පසුපස නොයා මෙම නොමිලේ පුහුණුව හා උසස් අධ්‍යාපනය නිසා මෙරටත් විදේශයේත් ඉහළම රැකියා ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පුද්ගලවාදය වෙනුවට ප්‍රතිපත්ති හා සංකල්ප කේන්ද්‍ර කර ගත් ගමනක් යා යුතු යි

මේ අවස්ථාවේ අප රටක් ලෙස පුද්ගලවාදය වෙනුවට ප්‍රතිපත්ති හා සංකල්ප කේන්ද්‍ර කර ගත් ගමනක් යා යුතු බවත් කවුරු කැමති වුවත් නැති වුවත් හම්බන්තොට ජාත්‍යන්තර වරායක්, ගුවන්තොටුපොළක්, ජාත්‍යන්තර ක්‍රීඩාංගන හා සම්මන්ත්‍රණ ශාලා ඇති බවත් මේවා වැරදි දත්ත මත ආරම්භ කළ බවට චෝදනාවක් තිබුණත් තවදුරටත් කුහක නොවී විවේචනය නොකර මේ සම්පත් රටට ඵලදායී ලෙස භාවිත කළ යුතු බවත් මේ අසාර්ථක ව්‍යාපෘති සාර්ථක ව්‍යාපෘති බවට පත් කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ගමන ලෙහෙසි පහසු නොවන නමුත් එය කළ හැකි බවත් ජාත්‍යන්තර ආයෝජන හා ප්‍රාග්ධනය ගෙනවිත් මේ සුදු අලි කියන ව්‍යාපෘති සාර්ථක ව්‍යාපෘති බවට පත් කිරීමේ වගකීම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කැපකිරීම් කළ යුත්තේ ලක්ෂ 220 නොව පාලකයන්

කැපකිරීම් කළ යුත්තේ ලක්ෂ 220 නොව පාලකයන් බවත් රටේ තාවකාලික බාරකරුවන් ලෙස පාලකයා පත් කරන්නේ සුරසැප විදීමට නොව රට ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරිමට බවත් රාජ්‍ය පාලනය යනු දුෂ්කර ක්‍රියාවක් බැවින් ඒ දුෂ්කර ක්‍රියාවට තමා ඇතුළු පිරිස සූදානම් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මගේ ඉලක්කය තමයි මේ

එසේ ම අලුත් ගමනක් යාමට ජනතා වරම ආශිර්වාදය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒකපුද්ගල ආදායම වැඩි කළ, අපනයන සංවර්ධනය නගරයට ගමට ගෙන ආ, දුප්පත්කම තුරන් කිරිමට කටයුතු කළ, ගොවියාට ධීවරයාට තරුණයාට කර්මාන්තකරුවන්ට වැඩිපුර සේවාවක් කළ පුද්ගලයා බවට පත් වීම තමාගේ ඉලක්කය බවත් ඒ වෙනුවෙන් එකමුතුවෙන් එකට එකතු වී කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.