2006 වසරේ සාමාන්‍ය පෙළ විෂය මාලාවට සම්බන්ධ කළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විභාග දෙපාර්තමේන්තුවෙන් ඇගයීම් කරනු ලබන ප්‍රධාන විෂයන් 7 සඳහා ඉදිරිපත් කර නැති බවත් ශ්‍රී ලංකාව ඩිජිටල් ශ්‍රී ලංකාවක් සිදු කිරීම සඳහා කටයුතු කරන මොහොතක මෙවැනි අමනෝඥ තීන්දු තීරණ නොගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව තොරතුරු සහ සන්නිවේදන විෂය ඇගයීම් මණ්ඩල හරහා පමණක් විෂය තෝරාගන්නා සිසුන්ගේ ඇගයීම් සිදුකරන බවත් එය සාමාන්‍ය පෙළ විභාග සහතිකයට ඇතුළත් නොකිරීමට තීන්දු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

පරිවර්තනාත්මක තාක්ෂණික යුගයක් ක්‍රියාත්මක වන මොහොතක තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එ් මෙන්ම සෞන්දර්ය විෂය සංවේදී ශිෂ්‍යයෙකු බිහි කිරීමට ඉවහල්වන විෂයක් බවත් එම විෂයත් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් සෞන්දර්ය විෂය තුළින් සුන්දර පුරවැසියා , සුන්දර තාරුණ්‍ය නිර්මාණය කිරීමට ඉවහල්වන බවත් මෙම විෂයන් ඉවත් කිරීම පිළිබඳව රජය නැවත අවදානය යොමු කළ යුතු බවත් මෙම අමනෝඥ ක්‍රියාව ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.