ජන මතයක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණ සඳහා න්‍යාය පත්‍ර සකස් කිරීමේදී ජාතිවාදය නැවත ගෙන ඒමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

අද (28) දින විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් නලින් බණ්ඩාර මහතා මේ බව පැවැසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මීට පෙර ජාතිවාදය දේශපාලනය සඳහා භාවිතා කළේ නැති බවත් නමුත් රනිල් රාජපක්ෂ එක කඳවුරුක් වීම හරහා ජාතිවාදී සළුපිළි ජනාධිපතිවරයාත් අදින්න කටයුතු කරනවාදැයි සැකයක් මතුවන බවත් නලින් බණ්ඩාර මහතා කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා පැවසුවේ, විපක්ෂ නායකවරයා ඩීල් දේශපාලනයේ නැති නිසා ඔහුට සෘජුව රාජපක්ෂවරුන්ට සහ ආණ්ඩුවට විරුද්ධව තදින් ප්‍රහාර එල්ල කිරීමට හැකි බවත් ඒ බව රටේ ජනතාවටත් පැහැදිලි වී තිබෙන බවත් ඉදිරියේදී ඩීල් නැති පිරිසක් සමඟ ප්‍රබල සන්ධානයක් ඇතිකර ඒ තුළින් රට ගොඩනැගීම සමගි ජනබලවේගයේ අරමුණ බවත්ය.

නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

‘‘හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දූෂණයට හොරකමට එරෙහිව කටයුතු කළ ඇමැතිවරයෙක්. ක්‍රිකට් පාලක මණ්ඩලය නිවැරදි දිශාවකට ගෙනියන්න රොෂාන් රණසිංහ කටයුතු කළා. ඒ හරහා රොෂාන් රණසිංහට හතුරෝ ඇතිවුණා. රොෂාන් රණසිංහට ජීවිත තර්ජන තිබෙන බවටද විවිධ කතා ඇතිවුණා. මෙවැනි තත්ත්වයක් තුළ රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා. ඒ ප්‍රකාශය ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට සෘජුව චෝදලා එල්ලවුණ ප්‍රකාශයක් බවට පත්වුණා.

රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය තුළ තෙල් , ගෑස් , ගල් අගුරු ගෙන ඒමේදී දූෂණ වංචා සිදුවෙන බව පැවසුවා. ඒ කරුණු කාරණා ඔහු ප්‍රකාශ කළේ බාගෙට. රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා ලොකු කතාවක පොඩි කෑල්ලක් පාර්ලිමේන්තුවේදී හෙළි කළා. රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා සතුව විශාල වංචා දූෂණ රැසක තොරතුරු තිබෙන බව පැහැදිලියි.
ඒ වංචා දූෂණ පිළිබඳ හෙළි කරන්නැයි රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. රොෂාන් රණසිංහගේ දේශපාලන තීන්දුව ගැන අපිට කියන්න බෑ. නමුත් ඩීල් නැති දේශපාලන ව්‍යාපාරයක් සමඟ රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා එකතු වෙයි කියලා අපි හිතනවා. ඩීල් නැති එකම විපක්ෂයේ බලවේගය සමගි ජනබලවේගය.

විපක්ෂ නායකවරයා ඩීල් දේශපාලනයේ නැති නිසා ඔහු සෘජුව රාජපක්ෂවරුන්ට සහ ආණ්ඩුවට විරුද්ධව තදින් ප්‍රහාර එල්ල කරනවා. ආණ්ඩුව සමඟ ඩීල් තිබෙන පිරිස් ආණ්ඩුවට තදින් පහර දෙන්නේ නෑ. ඒ අනුව රටේ ජනතාවටත් පැහැදිලි වෙලා තිබෙනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ ඩීල් නැති නායකයෙක් කියලා. ඉදිරියේදී ඩීල් නැති මිනිස්සු එක්ක ප්‍රබල සන්ධානයක් ගොඩනගලා ඒ තුළින් රට ගොඩනැගීම තමයි සමගි ජනබලවේගයේ අරමුණ.

විධායකය විසින් ව්‍යවස්ථාදායකය යටපත් කරනවාදැයි සැකයක් මතුවී තිබෙනවා. ජනාධිපතිවරයා ස්වාධීන කොමිසන් සභාවලට , පාර්ලිමේන්තු කටයුතු වලට , පර්ලිමේන්තුවේ වේලාවන් වලට අතපොවන තත්ත්වයක් දකින්න තිබෙනවා. ඒ වගේම විපක්ෂ නායකවරයාගේ දරුණු ප්‍රහාර හමුවේ තැතිගැන්වුණ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සජීවි විකාශනයත් ප්‍රමාද කරන්නත් උත්සහ කරනවා.

ජාතිවාදී හැඟිම් ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ යළිත් කරළියට ඇවිත් තිබෙනවා. නැවත ජාතිවාදී රොටිය පුච්චන්න හදන්නද මේ පිරිස් උත්සහ ගන්නේ කියන එක අපිට ප්‍රශ්නයක්. ජාතිවාදය නැමැති රොටිය පුච්චලා රටේ ජනතවාට කන්න දීපු එක තමයි රාජපක්ෂ කඳවුර හැමදාම කළේ. ඒ රොටියෙන් තමයි ගොඩ ගියේ. ජන මතයක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණ සඳහා න්‍යාය පත්‍ර සකස් කිරීමේදී ජාතිවාදය නැවත ගේන්න උත්සහ දරන බවක් පෙනෙන්නට තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මීට පෙර ජාතිවාදය දේශපාලනය සඳහා භාවිතා කළේ නෑ. නමුත් රනිල් රාජපක්ෂ එක කඳවුරුක් වීම හරහා ජාතිවාදී සළුපිළි ජනාධිපතිවරයාත් අදින්න කටයුතු කරලාද දන්නේ නෑ.

2024 ජනාධිපතිවරයා දකින හීන සමගි ජනබලවේගය රටේ ජනතාවට පෙන්වන්න යන්නේ නෑ. කඩිනම් ආර්ථික වර්ධනයක් සමඟ වේගවත් ගමනක් යන්න පුලුවන් රටක් නිර්මාණය කරලා රටේ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කරන වැඩපිළිවෙලක් තමයි සමගි ජනබලවේගය නිර්මාණය කරන්නේ. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම තමයි රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන මං සලකුණ. ඒ හරහා රටේ ජනතාවගේ ඉල්ලක්කවලට ඔවුන්ට ගමන් කරන්න පුලුවන්.

2024 අප්‍රේල් මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණෙන්න පුලුවන්. ඒ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු පොහොට්ටුවේ පිරිස එකතු වෙලා තරඟ කරයි. සමගි ජනබලගය දැවැන්ත සන්ධානයක් හරහා පාර්ලිමේන්තු මැතිවරණයටක ඉදිරිපත් වෙන්න සූදානම්. ඒ සන්ධානය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 130 කට වඩා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරලා ශක්තිමත් ආණ්ඩුවක් නිර්මණය කරන්න අවශ්‍ය වැඩිපිළිවෙල සකස් කරනවා. සියලු බලවේගවලට සියලු සිවිල් ක්‍රියාකාරීන්ට ආරාධනා කරනවා සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සමඟ එකතු වෙන්න කියලා.

රට ඉදිරියට රැගෙන යන්න වර්තාමාන පාර්ලිමේන්තුවට ජනමතයක් නෑ. ගෝඨාභය රාජපක්ෂගේ පලා යාමත් සමඟ ඒ ජනමතය අහෝසි වුණා. ජනමතයක් නැති පාර්ලිමේන්තුවේ 225 සිටිම ඵලක් නෑ. ගෝඨාභය රාජපක්ෂගේ පලා ගියේ ජනමතයක් සූන්‍ය කරලා. 2024 පැමිණෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එකතුවෙලා ඩීල් නැති දූෂණ වංචා නැති ආණ්ඩුවක් හදන්න.‘‘


ප්‍රශ්නය – ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් ඇමැතිවරයෙක් කැබිනට් මණ්ඩලය ගෙනල්ලා කරුණ පහදා දීලා අස්කරලා තිබෙනවා. එවැනි දෙයක් සිදුවෙලා නෑ. ඒ කාරණයෙන් ආණ්ඩුව උද්දාමයට පත්වෙලා තිබෙනවා.

පිළිතුර – රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඒ කාරණය ප්‍රතික්ෂේප කළා. රොෂාන් රණසිංහ ඇමැතිවරයා දූෂණයට වංචාවට විරුද්ධව කතාකරපු ඇමැතිවරයෙක්. ඔහුව කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා කරුණ පහදා දීලා අස්කරන්න තරම් සාධාරණ කරුණු කාරනා හෙළි වෙලා නෑ. පිරිසිදු නායකයින්ට මේ ආණ්ඩුවේ ඉඩක් නැ කියන කාරණය තමයි රොෂාන් රණසිංහ ඇමැතිවරයාගේ අස්කිරීමේන් පෙනෙන්නේ.

ප්‍රශ්නය – අලුත් ක්‍රිඩා ඇමැතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු පත්වීමේ ජයග්‍රහනය තිබෙන්නේ ශම්මි සිල්වාට නේද?

පිළිතුර – ක්‍රිඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පෙනී සිටින්නේ ක්‍රිකට් වෙනුවෙන්ද ජාවාරම්කාරයින් වෙනුවෙන්ද කියන කාරණ තමයි වැදගත් වෙන්නේ. ඒ අනුව තමයි අපිට ක්‍රිකට් පිළිබඳ අනාගතය ලියන්න වෙන්නේ. රොෂාන් රණසිංහ පරාජය වුණ එක ගැන ශම්මි සිල්වාට සතුටක් ඇති.

ප්‍රශ්නය – රෝෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා බරපතල ප්‍රකාශයක් කළා ඔහුගේ ජීවිතයට අනතුරක් වුණොත් ජනාධිපතිවරයාට සහ සාගල රත්නායක වගකිව යුතුයි කියලා.

පිලිතුර – ඒ ප්‍රකාශය ජනාධිපතිවරයාටත් හොද චෝදනාවක් නෙවෙයි. ඒ චෝදනා නිසා තමයි රොෂාන් රණසිංහට ඇමැතිධූරය අහිමිවුණේ. රෝෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය ඔහුගේ ඇමැතිධූරට නැතිවීම වේගවත් වුණා. ඒ ගැන විපක්ෂය අවධානයෙන් සිටිනවා.

ප්‍රශ්නය – විපක්ෂ නායකගේ පාර්ලිමේන්තු පැමිණීම සති දෙකකට අහෝසි කරන්න යනවා කියලා ආරංචියක් තිබෙනවා.

පිලිතුර – ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ආණ්ඩුවට තදින් විපක්ෂ නායකවරයා පහර දෙන නිසා පාර්ලිමේන්තුවෙන් ඔහුව ඉවත් කරන්න , ඔහුගේ කට වහන්න ආණ්ඩුවේ පිරිස් උත්සහ කරනවා.