ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදන නිකුත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන අනෙකුත් ආයතන යටපත් කිරීමේ වෑයමක නිරත වන බවත් එම ක්‍රියාවලියට කිසිසේත් එකඟ නොවන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

මෙහිදී සුමන්තිරන් මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉහල රාජ්‍ය නිලධාරීන් පතිකිරීමේ ජනාධිපතිගේ ඒකාධිපති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම මගින් යම්කිසි තුලනාත්මක, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව සින්දුවීමට නීතිය සකස් කර තිබෙන බවත්  17 වන සංශෝධනය මගින් ගෙන ආ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 18 සහ 20 සංශෝධන හරහා අඩාල කර ඇති නමුත් 19 සහ 21ක් වන ව්‍යවස්ථා සංශෝධන හරහා නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බලාත්මක කර ඇති බවත්ය.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කරන මෙම මාධ්‍ය නිවේදන මගින් රටේ නීතිය හෑල්ලු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අධිකරණය වැනි අනෙකුත් ආයතන යටපත් කිරීමට උත්සහ කරන බවත් එතුමා කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

ජනාධිපති මාධ්‍ය අංශය විසින් පසුගිය දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙවැනි අදහසකි,

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පාසල් මට්ටමින් කුඩා කාලයේ සිට අවබෝධයක් ලබා දිය යුතු බවත් තමන් සිටිනා තනතුර, ජාති, ආගම්, කුල, තරාතිරම කුමක් වුවත් සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීමට එයට හැකියාව පවතින බවත් එය ඉදිරියේ සැවොම එක හා සමාන බවත් සමහර වැඩිහිටියන්ට පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නොමැති නිසා විවිධ පාර්ශ්ව විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ජනතාව රවටමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ප්‍රධාන කුළුණු 3 ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සිටින බවත් ඊට අමතරව සිව්වැනි කුළුණ ලෙස නිල නොවන ලෙස නිදහස් නිවහල් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්න කටයුතු කරන වැදගත් ආයතනයක් බවත් මාධ්‍ය නිදහස හැම විටම ආරක්ෂා කළ යුතු බවත් මාධ්‍ය නිදහස හරහා රටක් ඒකාධිපතීත්වයක් කරා යන ගමන වැළකී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සුපිරිම බලතල ඇති විධායක ජනාධිපතිකමක් රටේ ඇති බවට සිතුවත් යථාර්ථය වන්නේ ජනඅරගලයත් සමඟ විධායක ජනාධිපති සතු අත්තනෝමතික භයංකාර බලතල අඩු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පවා ඉදිරිපත් වී ඇති බවත් ඒ නිසා විධායක ජනාධිපතිවරයා සුපිරිම බලවතා නොව ඔහුගේ බලය සංවරණ සහ තුළනවලට ලක් කර ඇති නිසා ඔහුට හිතුමතේට කටයුතු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පවා පත් කළේ ජනපතිගේ බලය සීමා කරමින් ප්‍රධාන තනතුරවලට පත් කිරීමේ දී ජනපතිගේ තනි මතයට හිතුමතයට පත් කිරීම් සිදු කිරිම සීමා කර එම පත්කිරීම්වලින් කොටසක් සිදු කිරීම ව්‍යවස්ථා සභාවටත් කොටසත් ජනාධිපතිවරයාගේ පත්කිරීම් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථා සභාවටත් ලබා දීම තුළ විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල සීමා කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.