ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් ගෑස් හිඟයක් නිර්මාණය වු බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති කේ.එව් වෑගපිටිය මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ණයවර සඳහා මෙරට බැංකුවලින් ඩොලර් ලබාගැනීමට ඇති අපහසුව මත එම ගැටලුකාරී තත්ත්වය ඇතිව තිබෙන බවය.

“රට තුළ තිබෙන විදේශ විනිමය ප්‍රශ්නයක් නිසා අපි අද අපහසුතාවයට ලක්ව තිබෙනවා. එය තවත් වර්ධනය වෙලා තියෙනවා පසුගිය වසර පුරාම ලංකාවට ගෑස් ආනයනය කරලා විකුණුවේ පිරිවැයට වඩා අඩුවෙන්. ඕනේම කෙනෙක් රුපියල් 100ට යමක් ගෙනල්ලා රු 50ට විකුණුවොත් එය කාලයක් යන විට මුල්‍ය සංසරණය නතර වෙනවා. මේකට බලපෑ ප්‍රධානම කාරණය තමා පසුගිය වසර එකහමාර තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අස්වාභාවික ලෙස වැඩිවීම.”

කෙසේවුවද ලාෆ් ගෑස් සමාගම මුහුණපා ඇති ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර යම් එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ ඛනිජ තෙල් මිල වැඩිවෙලා තියෙනවා. වැඩි මිලට ගෙනල්ලා අඩු මිලට විකුණුවොත් ඒ සමාගම බංකොලොත් වෙනවා. ඒ නිසා එම සමාගමේ තත්ත්වයට පිළියම් යෙදීම සඳහා මුදල් අමාත්‍යාංශයත් රජයේ ගෑස් සමාගමත් ලබන සතියේ වැඩපිළිවෙලක් යොදනවා. අලුතින් ලිට්‍රෝ ගන්න ඕනේ නෑ. ලාෆ් ගෑස් සමාගමට යම්කිසි ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න උත්සහ දරනවා.”