ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය 2021 වසරේ දී 16 වැනි විශ්වවිද්‍යාලය ලෙස නම් කළ නමුත් එහි අඩුපාඩුකම් රාශියක් ඇති බවට එහි වෛද්‍ය ශිෂ්‍ය සංගමය පසුගිය දා තමා හමු වී ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඖෂධ සම්බන්ධ ගැටලු, ඉඩ පහසුකම් සම්බන්ධ, සනීපාරක්ෂාව, සායන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, වාට්ටු සංකීර්ණ හරිහැටි නොමැති වීම, රසායනාගාර ගැටලු ඇතුළු ගැටලු රාශියක් තිබෙන බවත් ඒ සම්බන්ධ තොරතුරු හැන්සාඩ් ගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විශ්වවිද්‍යාලයක් ලෙස නම් කළත් මානව, භෞතික සහ අනෙකුත් සම්පත් ලබා දී නොමැති බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

මේ ප්‍රශ්නය පිළිබඳව වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ සිසු සමඟ විපක්ෂ නායකතුමා මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේ දී ද සාකච්ඡා කරනු ලැබීය.