මාර්තු 26 වැනිදා ඇමෙරිකාවේ බැල්ටිමෝර් පාලම මත කඩා වැටුණු සිංගප්පූරු භාණ්ඩ ප්‍රවාහන නෞකාව වන ඩාලි නෞකාව මඟින් ශ්‍රී ලංකාව වෙත අන්තරායක ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන ආ බවට ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළ බවත් එහි බහලුම් 4700ක් තිබූ බවත් ඒ අතරින් 56ක පුපුරණ ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි, ගිණිගන්නා ද්‍රව්‍ය ආදී අන්තරායක ද්‍රව්‍ය සහ 9 වැනි කාණ්ඩයේ හෙවත් දැඩි අන්තරායක ද්‍රව්‍ය තිබූ බවත් අනෙකුත් බහලුම් 4644 තුළ තිබූ දෑ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් සිටින බවත් මෙම නෞකාව ලොව විශාල නාවුක කඳවුරක් වන නිව්යෝක්, වර්ජිනියා නොර්ෆොක් ආදියට පැමිණීමෙන් පසු කොළඹට පැමිණෙමින් තිබු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අනාවරණයක් කරමිනි.

බාසල් සම්මුතියට අනුව පැහැදිලිවම අවස්ථා 4කදී එනම් ආනයනය, අපනයනය, හුවමාරුව සහ වරායේ නතර කර තිබීම තුළ පැහැදිලිවම පරිසර අධිකාරිවලින් අවසර ලබා ගත යුතු වුවත් මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොමැති බවත් රටේ කවුරුත් නොදැන මෙවැනි භාණ්ඩ නොඑවන බවත් මෙය නරක තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ භයානක තත්ත්වය ගැන රටක් ලෙස පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් නොමැතිව මෙවැනි අහිතකර ද්‍රව්‍ය රටට ගෙන එන්නේ කොහොමද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

එසේම 2013 දී නිර්මාණය වූ කොමර්ෂල් හබ් රෙගුලේෂන් එක හරහා සමහර නීතිරීති බලපැවැත්විය නොහැකි ලෙස භාණ්ඩ හා ද්‍රව්‍ය රටට එන බවත් එම හිඩස උපයෝගී කර ගෙන මිට පෙර රටට අපද්‍රව්‍ය බහලුම් 263ක් රට ඇතුළට පවා පැමිණි බවත් ඒ අවස්ථාවේ අමාරුවෙන් ඒවා නැවත එම රටටම යැවූ නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් රජය හරිත ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජාත්‍යන්තරය හමුවේ සුබවාදී ප්‍රකාශන කරන නිසා මේ ගැන සොයන ලෙසත් මෙය සාපරාධී ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන් වහාම සෙවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.