හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කළා වගේම ඔහු වටා සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත චෞර නිලධාරී කල්ලියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව අද (26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරන්න ලෙස වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.

ඖෂධ සංස්ථාවේ නීතියට පිටුපා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ඖෂධ සංස්ථාවේ නිලධාරින් බෝනස් ගත්ත ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම ප්‍රකාශයක් සිදුකළ යුතු බවද ජයවර්ධන මහතා හෙතෙම පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා මෙසේ පැවැසීය.

‘‘ප්‍රධාන විපක්ෂය විදිහට සමගි ජනබලවේගය රටේ රෝහල් පද්ධතිය , වෛද්‍යවරු , හෙදියන් සහ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රෙය් නිලධාරීන් කොයිතරම් දුරට අසරණ වෙලා තිබෙනවාද කියන කාරණය පිළිබඳව දිගින් දිගටම පැහැදිලි කළා.

රටට ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙනල්ලා ඒ හරහා ඇස් අන්ධ වුණ , විවිධ සංකූලතා ඇතිවුණ , මරණයට පත්වුණ රෝගීන් පිළිබඳ කතා කළා. එමෙන්ම රටේ තිබෙන ඖෂධ හිඟය පිළිබඳව , ලියාපදිංචි නොකළ ඖෂධ මිලදී ගැනීම පිළිබඳව සහ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඖෂධ ගැනීම පිළිබඳව මෙන්ම ඒ හරහා රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරීම ගැන ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය ඒ පිළිබඳ කරුණු අනාවරණය කළා.

දූෂිත ඖෂධ ගණුදෙනු පිටුපස සිටින නිලධාරීන් පිළිබඳව අනාවරණය කළා වගේම මේ කරුණුවලට ක්‍රියාමාර්ග නොගැනීම තුළ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව සමගි ජනබලවේග ප්‍රධාන විපක්ෂය ලෙස ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවා. නමුත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ 113 ක් ඡන්දය ලබාදුන්නා. ඡන්දය ලබාදීලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ඔවුන් අනුමත කරනු ලැබුවා.

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන ඒම ලියාපදිංචි නොකළ බෙහෙත් ගෙන ඒමේ වංචනික ක්‍රියාදාමය පුලුල් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවය මත හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් ලංකාවට ගෙන්වීම සිදුවුණා. පසුව එම එන්නත් ලංකාවේ රෝහල් පද්ධතියට ලබාදෙන්න කටයුතු කළා. එහිදි රෝගීන්ට විවිධ සංකූලතා ඇතිවීම හරහා මෙම එන්නත පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන්න කියලා වෛද්‍යවරු ඖෂධ බෙදාහැරීමේ අංශයට දැනුම් දුන්නා.

ඒ හරහා ඔක්තෝම්බර් 3 වැනිදා සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වුණා හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත තත්ත්වයෙන් බාල ඖෂධයක් කියලා. මෙම ඖෂධ ගෙන්නපු ආයතනය , නිෂ්පාදනය කළ ආයතනය ගෙන්වීම සඳහා භාවිතා කළ ලිපිගොනු ව්‍යාජ ඒවා බව සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කිව්වා මේ එන්නත් වල අඩංගු වන්නේ සේලයින් වැනි ඖෂධයක් කියලා.

හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත ලබාදෙන්නේ මරණාසන්නයේ සිටින රෝගීන්ට. මේ රෝගීන්ට සුවවීමට ලබාදෙන එන්නත් වල තිබෙන්නේ සේලයින් නම් මේ රෝගීන් මරණයට පත්වෙනවා. එහෙමනම් මේ එන්නත් ගෙනාපු නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

මේ පිළිබඳව සමගි ජනබලවේගය ප්‍රකාශ කරපු කාරණා අද සනාථ වෙලා තිබෙනවා. ප්‍රධාන විපක්ෂය විදිහට සමගි ජනබලවේගය මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට , අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළා , දස ලක්ෂයක අත්සන් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළා වගේම නීතිය ඉදිරියට පාර්ලිමේන්තුවට වගේම මහ පාරට මේ සටන ගෙන ගියා.

දැන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කරලා තිබෙනවා. ඒ වගේම ඇමැතිවරයා ආරක්ෂා කරපු නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ නිලධාරීන් නිසා රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත විනාශවෙලා තිබෙනවා සහ බදුගෙවන ජනතාවගේ බදු මුදල් වංචනික ලෙස පැහැරගෙන තිබෙනවා.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ අමාත්‍යාංශය මාරු වුණාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ පුටුවල ඒ විදිහටම ඉන්නවා. වර්තමාන සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණට පුලුවන්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන් ඒ පුටුවලම තියාගෙන සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ සිදුවුණ වංචා දූෂණ ගැන පරීක්ෂණ පවත්වන්න. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ කාලයේ සිදුවුණු වංචා දූෂණ ගැන පරීක්ෂණ සිදුකරන්නේ කෙසේද කියලා රට දැනුවත් කරන්නැයි අපි වර්තමාන සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගෙන් ඉල්ලා සිටිනවා.

ඖෂධ සංස්ථාවේ නීතියට පිටුපා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් බෝනස් අරගෙන කියලා පුවතක් වාර්තා කරලා තිබෙනවා. රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් තමයි මේ ආකාරයට වංචනිකව ලබාගෙන තිබෙන්නේ.

ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ ගෙන ඒමට , අඩු මිලට ඖෂධ ගෙන්වීමට සහ ලබාදීමට කටයුතු කරලා තිබෙනාවනම් මෙහෙම බෝනස් ගත්තට කමක් නෑ. තත්ත්වයෙන් බාල බෙහෙත් ගෙනල්ලා එච් අයි වි , හෙපටයිටීස් වැනි රෝග රටපුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය ඇති කරලා බාල බෙහෙත් අරගෙන රෝගීන් මරණයට පත්වෙනකොට අධික මිල ගණන්වලට බෙහෙත් ගේනකොට ඖෂධ සංස්ථාවේ නිලධාරින් මේ ආකාරයට බෝනස් ගන්නේ කොහොමද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් කරන්න ඕන.


ප්‍රශ්නය – විදුලිබිල වැඩවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා ඒ ගැන ඔබේ අදහස.

පිළිතුර – මාස කිහිපයකට පෙර වැඩි කරපු විදුලි බිලවත් ජනතාවට ගෙවා ගන්න බැරුව හිටියේ. විදුලි බිල වැඩි කළාට පසුව ලංකාවේ පවුල් 75,000 කට පමණ විදුලි බිල ගෙවා ගන්න නොහැකි වුණා. සමහර පවුල් විදුලි බිල ගෙව්වේ නෑ. නිවසේ විදුලිය විසන්ධි කළාම නැවත විදුලිය ලබාගනිද්දි නැවත රුපියල් 3000 ක් ගෙවන්න ඕන විදුලි බිලට අමතරව. මෙවැනි තත්ත්වයක් මත නැවත සියයට 18 කින් නැවත විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා.
ගෝඨාභයගේ කාලයේ පැය 13 ක් විතර විදුලිය කැපුවා. ඒ නිසා ජනතාවට අඳුරේ ඉදලා පුරුදුයි. දැන් විදුලිය තියාගෙන අදුරේ ඉන්නවා. විදුලිය තියාගෙන අඳුරේ ඉන්නේ දරා ගන්න බැරි විදිහට විදුලි බිල ඉහළ ගිහින් තිබෙන නිසා. ආණ්ඩුව හිතාගෙන ඉන්නවා ආණ්ඩුවට අසීමිත ආදායමක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව වැඩි කරන තෙල් මිල විදුලිබිල ජල බිල ගෙවන්න ජනතාවට පුලුවන් කියලා. ඒ වගේම ශ්‍රී පාද අඩවියට යන ගමන් මාර්ගයේ විදුලිය විසන්දි කරලා තිබෙනවා. අද ශ්‍රී පාද අඩවියට ජනතාවට යන්න වෙන්නේ අඳුරේ. ආණ්ඩුවට වගකීමක් තිබෙනවා ප්‍රධාන ආගමික ස්ථානවලට අවශ්‍ය කරන විදුලිය ලබාදෙන්න.

ප්‍රශ්නය – හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කිරිම හරහා යහපත් පූර්වාදර්ශයක් ජනාධිපති ලබාදීලා තිබෙනවා කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද අලුත් සෞඛ්‍ය ඇමැතිත් සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගනිමින් ඉන්න බවක් පේනවා.

පිලිතුර – හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කරන්න කියලා අපි දිගින් දිගටම කිව්වා. ඔහුව ඉවත් කළාට එතුමා වටා හිටපු දූෂිත නිලධාරී කල්ලියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. වර්තමාන සෞඛ්‍ය ඇමැතිගෙන් අහනවා කෙහෙළිය රඹුක්වැල්ල වටා හිටපු චෞර දූෂිත නිලධාරීන්ට විරුද්ධව කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා. මෙම නිලධාරීන් තාමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ පුටුවල ඒ විදිහටම ඉන්නවා.