අද වන විට ආණ්ඩුව රටේ වැව් ඉලක්ක කොටගෙන මං තීරු සකස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇති බවත්,මේ ව්‍යසනකාරී මොහොතේ  එය කිසිසේත්ම ජාතික ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු  අත්‍යවශ්‍ය හදිසි කටයුත්තක් නොවන බවත් ඒ වෙනුවට කළ යුතු බොහෝ ප්‍රමුඛ කාර්යයන් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් , කුමන ජාතික වනෝද්‍යානයේ ඒකාබද්ධ නිල නිවාස ආලෝකකරණය උදෙසා අත්‍යවශ්‍යව පැවැති රුපියල්  240,500.00 වටිනා (Solar off grid light system) සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක  බාහිර ආලෝකකරණ පද්ධතියක් ඊයෙ(28) පරිත්‍යාග කරනු ලැබීය.

හරිත පාරිසරික සංරක්ෂණ වැඩසටහන සහ project leferd ව්‍යාපෘතිය හරහා ඇති කරන ලද මූල්‍ය අරමුදල උපයෝගී කොටගෙන අදාල පරිත්‍යාගය සිදු කළ අතර පාරිසරික පද්ධතිය සුරක්ෂිත කිරීම ,වනජීවීන් ආරක්ෂා කිරීම ,සියලු දෙනා සතුව පවතින වගකීමක් බව එහිදී විපක්ෂ නායකතුමා පැවසීය .

වනජීවී දෙපාර්තමේන්තුව තමන් සතු සීමිත සම්පත් වලින් විශාල වැඩ කොටසක් කිරීමට උත්සාහ කරන බවත් ,නිලධාරීන්ගේ කැපවීම පිළිබඳව කිසිවකුගේ ඇගයීමක් නැතත් ඔවුන් විශාල කැප කිරීමක් කරන බවත් පැවසීය .

අද වන විට අලි මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයට පත්ව ඇති බවත්  එවැනි ගැටුමක දී මරණයක් සිදු වූ විට ,ඊට ලැබෙන වන්දි මුදල ලබා ගැනීමට  කරන්නට සිදුව ඇති කැපකිරීම අති විශාල බවත් ඒ මහතා පැවසීය.ඇතැම් විට ලැබෙන වන්දි මුදලට වඩා වැඩි වියදමක් වන්දි මුදල ලබා ගැනීම වෙනුවෙන් කරන්නට සිදුව ඇති බව ද විපක්ෂ නායකතුමා අවධාරණය කළේය .