මේ රටේ ජනතාවත් මේ කඩා වැටුණු රට ගොඩනැගීමේ අරමුණ සමගි ජන බලවේගය ට ඇති නිසා,වර්තමාන ආණ්ඩුව කිලිටි ආණ්ඩුවක් වුවත්, නොකිලිටිඅරමුණින් සාකච්ඡා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එවැනි නොකිලිටි අරමුණු සමඟ සෙල්ලම් නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ විපක්ෂ නායකතුමා මේ මොහොතේ කළ යුතු වන්නේ තනතුරු වෙනුවෙන් කුලල් එකා ගැනීම නොවන බව ද අවධාරණය කළේය. රාජපක්ෂ වන්දනාව එක් ගියානම් තමන්ට අගමැතිකමත්, ජනාධිපති කමක් ලබා ගැනීමට තිබූ බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ සමස්ත ජනතාව එක් වී ගෙදර යන්න කී රාජපක්ෂලාගෙන් තනතුරු ගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද පැවසීය.

දින 52 දී තමන්ට අගමැති ධූරය භාරගන්නා ලෙස කරන ලද ඉල්ලීම් සියල්ල එකහෙළා ප්‍රතික්ෂේප කළේ ශිෂ්ට සම්පන්න දේශපාලන සදාචාරයක් තමන්ට ඇති නිසා බව පැවසූ විපක්ෂ නායකතුමා,එය අදත් එලෙසම පවතින බව ද පැවසීය.

සමගි ජන බලවේගයේ හොරණ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (21) පැවැත්විණි. සමගි ජන බලවේගය හොරණ ප්‍රධාන ආසන සංවිධායක පී.ඩී අබේරත්න මහතා විසින් එය සංවිධානය කරනු ලැබීය. අතිවිශාල පිරිසක් බලමණ්ඩල හමුවට එක්ව සිටියහ.

දෙදහස් පහළොවේ ජන වරම හිමි වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට බව පැවසූ විපක්ෂ නායකතුමා එවර ජනවරම හිමි වූ පුද්ගලයාට ද්‍රෝහි වී අගමැතිකම ගන්නට තමන්ට අවශ්‍ය නොවූ බවද පැවසීය. එදා අගමැතිකම නොගැනීම නිවැරදි නම් අද මුළු රටම එපා යැයි කී පුද්ගලයාගෙන් ජනාධිපතිකම් අගමැතිකම් නොගැනීම ද නිවැරැදි විය යුතු යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.