ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට එරෙහි විරෝධය දැක්වෙන පෝස්ටර් කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක අලවා ඇති බව ඊයේ (18) දක්නට ලැබුණා.
මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් මෙරට පැවැත්වෙන මොහොතක මෙලෙස පෝස්ටර් අලවා විරෝධය පළකිරීම විශේෂත්වයක් වන අතර පසුගිය කාලවකවනුවේදීත් දැඩි කතාබහට ලක් වූ ක්‍රිකට් පාලන මණ්ඩලයේ දුෂිත ගනුදෙනු පිළිබඳව පාර්ලිමේන්තුව තුලත් දැඩි දෝෂදර්ශනයට ලක් වූ අතර වත්මන් ක්‍රිකට් පාලන තන්ත්රය වහා ඉවත් විය යුතු බවට වන පාර්ලිමේන්තු යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ විපක්ෂ සහයෝගිතාවයෙන් යුතුව සම්මත කරගනු ලැබීය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් පාලන මණ්ඩලයේ දූෂිත ගනුදෙනු පිළිබඳව කරුණු කාරනා රාශියක් අනාවරය කල අතර ඉන් පසු වත්මන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිහ විසින් රොෂාන් රණසිංහ මහතාව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු මහතාව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කළ නමුත්, ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තු යෝජනාවක් පවා සම්මත වූ හිපටු ක්‍රිකට් පාලන තන්ත්රය තවමත් එම ධුරයන් හොබවමින් සිටී.
වත්මන් ක්‍රිකට් පාලන මණ්ඩලයේ වංචා දුෂණ පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින්ද විමර්ශනයක් ආරම්භ කර, ඒ පිළිබඳව කටයුතු සිදුකරමින් සිටි අතර එම අවස්ථාවේදී කෝප් කමිටුවේ හිටපු සභාපති රන්ජිත් බණ්ඩාර මහතාගේ නොමනා ක්‍රියා කලාපය පිළිබඳව පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් දැඩි ලෙස කතාබහට ලක්වූ අතර ඔහු එම ධූරයෙන් ඉවත් කර නව සභාපතිවරයෙකු යටතේ විමර්ශනය සිදුකරන ලෙසයි වැඩිදෙනෙකු ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් එම අවස්ථාවේ කෝප් කමිටුවේ කාර්යයන් අත්හිටුවීමට කතානායකවරයා විසින් පියවර ගත් අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වාර අවසන් කර සියලු පාර්ලිමේන්තු කමිටු විසුරුවා හැර දැමීය. මේ වනවිට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින් කෝප් කමිටුවේ සභාපතිධුරය දරන අතර ඔහුගේ පත්කිරීමත් සමඟ කෝප් කමිටුවේ සාමාජිකයින් විශාල ප්‍රමාණයක් ඉල්ලා අස්විය. ඉන්පසු තවමත් ක්‍රිකට් කමිටුවේ වංචා දුෂණ පිළිබඳව කෝප් කමිටු විමර්ශන ආරම්භ කර නොමැත.
අදාළ පෝස්ටර්වල ක්‍රිකට් රැකගැනීමේ ජාතික සංවිධානය ලෙස සඳහන් කරමින් මෙම විරෝධතා පාඨ ලියා තිබුණා.