පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට වැඩබලන පොලිස්පති තනතුරු භාර ගැනීමට නොහැකි බව කතෝලික සභාව ප්‍රකාශ කළේ ජාතීන් භේදයක් ඇති කිරීමට නොව ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.
රටේ ආගමික ගැටුමක් ඇති නොකරන ලෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කතෝලික සභාවට , අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ඇඟිල්ල දිගු කරන බවත් කතෝලික ප්‍රජාව කිසිදු ආගමික අසමගියක් ඇතිකරන්න කටයුතු කරන්නේ නැති බවත් පාස්කු ප්‍රහාරය සිදුවු දින ජනවර්ගයා අතර ඇතිවීමට ගිය ජන සංහාරය නතර කරන්න මැදිහත් වුණේ කාදිනල් හිමිපාණන් බවත් කාවින්ද ජයවර්ධන මහතා හෙතෙම සඳහන් කළේය.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාවට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි උසාවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව අත්අඩංගුවට නොගත්තේ ඒ හරහා හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ මහ මොළකරු කවුරුන්දැයි අනාවරණය වන නිසා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ,
අද (01) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන මහතා මෙසේ පැවැසීය.
‘‘කතෝලික ජනතාව පාස්කු ප්‍රහාරයට ලක්වෙලා වසර 4 ක් ගෙවී ගොස් තිබෙනවා. පාස්කු ප්‍රහාරයට ගොදුරු වුණ කතෝලික ජනතාවට තවම සාධාරණයක් යුක්තියක් ඉටුවෙලා නෑ. පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරයෙන් වින්දියන් බවට පත්වුණ කතෝලික ජනතාවට සහ කතෝලික සභාවට වර්තමාන රජයෙන් සාධාරණයක් යුක්තියක් ඉටුවෙයි කියන බලාපොරොත්තුව ඇතිකරගැනීමට නොහැකි තත්ත්වයක් අද ඇතිවෙලා තිබෙනවා.
ලංකාවේ දේශපාලන බලවේග පාස්කු ප්‍රහාරය පිටුපස සිටියා කියන කාරණය අද රටේ ජනතාවගෙන් සියයට 50 කට වැඩි පිරිසක් පිළිගෙන තිබෙනවා කියලා සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ , පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා කතෝලික සභාව රජයෙන් ඉල්ලීම් කළේ.
නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාවෙන් , පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවෙන් යම් යම් පුද්ගලයන් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නිර්දේශ කර තිබියදී ඒ පුද්ගලයන්ට ආණ්ඩුව උසස්වීම් ලබාදෙනවා.
ඒ අනුව වර්තමාන ආණ්ඩුව එම නිලධාරීන්ට උසස් වීම් ලබාදෙනවා කියන්නේ ‘ලංකාවේ දේශපාලන බලවේග පාස්කු ප්‍රහාරය පිටුපස සිටියා කියන කාරණය රටේ ජනතාවගෙන් සියයට 50 ක් පිළිගෙන්නවා‘ කියන ප්‍රවෘත්තිය සමඟ ගලපාගන්න සමීකරණ අවශ්‍ය වෙන්නේ නෑ.
රටේ ආගමික ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කතෝලික සභාවට , අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ඇඟිල්ල දිගු කරනවා. කතෝලික ප්‍රජාව කිසිදු ආගමික අසමගියක් ඇතිකරන්න කටයුතු කරන්නේ නෑ. පාස්කු ප්‍රහාරයට ලක්වුණ ජනතාව දැඩි වේදනාවෙන් සිටින අවස්ථාවේ කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ජන වර්ගයකට , පුද්ගලයෙකුට හානි වන ආකාරයෙක් කටයුතු කරන්න එපා කියලා. එදා ජනවර්ගයා අතර ඇතිවීමට ගිය ජන සංහාරය නතර කරන්න මැදිහත් වුණේ කාදිනල් හිමිපාණන්.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට වැඩබලන පොලිස්පති තනතුරු භාර ගැනීමට නොහැකි බව කතෝලික සභාව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය ජාතීන් අතර ආගම් අතර භේදයක් ඇති කරන්න සිදුකළ ප්‍රකාශයක් නෙවෙයි. කතෝලික සභාව ඒ ප්‍රකාශය සිදුකළේ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුවයි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාව පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා. හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචනික ලෙස රටට ගෙනාපු පිරිසට මුදල් ගෙවන්න කියලා සහ පිළිකා රෝගීන්ට ලබාදෙන්න බාල ඖෂධ ගෙනල්ලා ඒ ඖෂධවලට මුදල් ගෙවන්න කියලා බලපෑම් කරලා ලියුම් ගැහුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාවට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට ගන්න කියලා උසාවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තිබුණත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව අත්අඩංගුවට ගත්තේ නෑ. හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ මහ මොළකරු අහුවෙන නිසා තමයි හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ.
ලංකාවේ ඒඩ්ස් ආසාදිතයින් 885 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ පිරිසෙන් 43 ක් මියගිහින් තිබෙනවා.
සියයට 13 කින් ඒඩ්ස් ආසාදිතයින් වැඩිවීමට හේතු වුණේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාව හරහා රෝගීන්ට ලබාදුන්න රුධිරය නිසාද කියන ප්රශ්නය පැන නගිනවා. අවුරුදු 15 ත් 24 ත් අතර වාර්තා වන ඒඩ්ස් ආසාදිතයින් ගණන 80 ක්. හියුමන් ඉමියුනොග්ලොබියුලීන් බාල ඖෂධය හරහා ඒඩ්ස් , හෙපටයිටීස් රෝග පැතිරිය හැකි බවට විද්වතුන් ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක සියයට 13 කින් ඒඩ්ස් ආසාදිතයින් වැඩිවුණේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් මගඩිය නිසාද? කියන ප්රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා.
දවස් 10 ක් ඇතුළත ඩෙංගු රෝගීන් 3000 ක් , දවසකට රෝගීන් 300 ක් හා මේ වනවිට ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. රජය පළාත් පාලන ආයතන විසුරුවලා තිබෙන නිසා නිසියාකාරව නගරවල කාණු පිරිසිදු වෙන්නේ නෑ , කුණු නිසියාකාරව බැහැර වෙන්නේ නෑ , මදුරුවන් විනාශ කරන දුම ගහන්නේ නෑ මේ කාරණා නිසා ඩෙංගු මදුරුවන් බෝවන ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. මේ හරහා රටේ ජනතාවගේ ජීවිත භායානක තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඩෙංගු මර්දනය සඳහා යොදාගෙන තිබෙන පිරිස අවමයි. ඒ පිරිස ස්ථිර කර නොමැති නිසාත් ගැටලු ඇතිවෙලා තිබෙනවා. මේ පිරිස වැඩ කරන්නේ නැතිව ගෙදර ගියොත් ඩෙංගු රෝගීන් තවත් වැඩිවීමට ඉඩ තිබෙනවා. ‘‘
ප්රශ්නය – සමගි ජනබලවේගයේ මැතිවරණ සූදානම කොහොමද?
පිළිතුර – සමගි ජනබලවේගය ගම් මට්ටමින් , ශාඛා මට්ටමින් පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වැඩපිළිවෙලට පක්ෂයේ මහලේකම්වරයා මූලික වෙලා කටයුතු කරගෙන යනවා. පක්ෂයේ සිටින තරුණ පිරිස පක්ෂයේ වැඩපිළිවෙල අලුත් මුහුණුවරකින් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කරගෙන යනවා. සමගි කාන්තා බලවේගය දිස්ත්‍රික්ක මට්ටමින් ගම් මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. පක්ෂයට අලුත් සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තිබෙනවා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආසන බල මණ්ඩල රැස්වීම් පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යනවා. ආරම්භයක් ලෙස මිනුවන්ගොඩ ආසනයෙන් හෙට දිනයේ බල මණ්ඩල රැස්වීම ආරම්භ කරනවා.
ප්රශ්නය – සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයක් ද? මහ මැතිවරණයක් ද ?
පිලිතුරු – ඕනෑම මැතිවරණයකට සමගි ජනබලවේගය සූදානම්. ජනතාගේ ජන වරම උරාගා බලන කටයුතු කරන දවසට ඒ සඳහා මුහුණ දෙන්නේ රටේ ප්‍රධාන විපක්ෂය විදිහට සමගි ජනබලවේගය සූදානමින් සිටිනවා.
ප්රශ්නය – නැවත තිබෙන ආණ්ඩුවම බලයට ආවොත් මොකද කරන්නේ.
පිළිතුර – වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිව ජනතාව පැන්නුවා, ආණ්ඩුවේ හිටපු අගමැතිව ජනතාව පැන්නුවා. වර්තමාන ආණ්ඩුව පවතින්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ඔලුගෙඩි වලින්. ඔවුන් පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතාවරමින් නෙවෙයි. රට බංකොලොත් කළේ රාජපක්ෂවරු කියලා අධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා. මේ ගැන රටේ ජනතාවට අමතක නෑ. රටේ ජනතාව සැදි පැහැදි ඉන්නවා වර්තමාන ආණ්ඩුව ගෙදර යවලා රටේ පාලනයට අලුත් පිරිසක් පත් කරන්න.
විපක්ෂ නායකවරයාට මොන චෝදනා එල්ල කළත් ඔහුගේ ඉලක්කය වෙන්නේ රටේ ජනතාවට හොද ආර්ථිකයක් දරුවන්ට හොද අධ්‍යාපනයක් යහපත් සෞඛ්‍ය සම්පන්න රටක් නිර්මාණය කරන්න. විපක්ෂ නායකවරයාගේ ඒ කටයුතු පිළිබඳ රටේ ජනතාව තේරුම් අරගෙන තිබෙනවා.
ආර්ථික දැක්මක් හදුන්වා දී තිබෙන එකම පක්ෂය සමගි ජන බලවේගය. රට ආර්ථිකව ගොඩගන්නේ කොහොමද කියලා කිසිදු දේශපාලන පක්ෂයක් කතා කරලා නෑ.
ප්රශ්නය – වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහත්තයාව පිළිගන්නේ නැද්ද?
පිළිතුර – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට තොරතුරු ලැබී තිබියදීත් පොලිසියේ ඉහළ නිලධාරීන් කටයුතු කළ ආකාරයත් , පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන් සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. එවැනි චෝදනා එල්ල වුණ පුද්ගලයන්ට තනතුරු ලබාදීම පිළිබඳව සමගි ජන බලවේගය අනුමත කරන්නේ නෑ. ඒක තමයි සමගි ජන බලවේගයේ ස්ථාවරය.