වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා කොතෙක් දුරට පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කර ඇත්ද කියා ගැටලු‍වක් ඇති බවත් ඔහු පොලිස්පතිවරයා පත් කිරීමේ දී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත ඇතුළු අවස්ථා ගණනාවකදී කටයුතු කළ ආකාරය ගැටලු‍ සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොලිස්පතිවරයා පත් කිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා නම් කළ පුද්ගලයාට පක්ෂය ඡන්ද 4ක් විපක්ෂව ඡන්ද 2ක් සහ තවත් ඡන්ද 2ක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් එහි දී ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටි ඡන්ද 2ක ද විපක්ෂව ලැබුණු ඡන්ද 2ක් සේ සලකා කතානායකවරයා විසින් තීරක ඡන්දය වැරදි ආකාරයට භාවිත කර අනීතික ආකාරයෙන් වත්මන් පොලිස්පතිවරයා පත් කර ඇති බවත් කතානායකවරයා අමුඅමුවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එහි ප්‍රතිපාදනත් උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයා Yes, No සහ Abstain යන වචන 3 තේරුමවත් හරිහැටි නොදන්නා බවත් ඔහුට පාර්ලිමේන්තුව තුළ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන්වත් හරිහැටි අවබෝධයක් නොමැති බවත් ඔහු හිතාමතාම විධායකය සමඟ එකතු වී ව්‍යවස්ථාදායකයේ බලය පළුදු කරන්න කටයුතු කරන කුමන්ත්‍රණයේ හවුල්කරුවකු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට එරෙහි විවාදයේදී අදහස් දක්වමිනි.

විධායකය ව්‍යවස්ථාදායක අධිකරණය යන ආයතන අතර ක්‍රියාත්මක වන සංවරණ සහ තුලන පැවැතියත් කතානායකවරයා එම සංවරණ සහ තුලන හිතාමතාම කඩකර ඇති බවත් ඔහු විධායකය අතරට තනි බලයක් ලබා දීමේ කුමන්ත්‍රණයක නියැලි ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ක්‍රිකට් සම්බන්ධ විවාදයේදී පවා කතානායකවරයා කටයුතු කළ ආකාරය අනුමත කළ නොහැකි බවයි.

කතානයකවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ සම්පූර්ණ කතාව පහත විදියෝවෙන් නරඹන්න,