එළඹෙන ජුලි මාසයේ 7 වැනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම ජනතාව ඒකරාශි කර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට මේ වන විට සියල්ල සුදානම් කර තිබෙන බව සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
එතුමා මේ බව කියා සිටියේ ඊයේ (24) කෝට්ටේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ දී, ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ සූදානම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුව අමතමින්, මෙම මාධ්‍ය හමුවට මැතිවරණ ජයග්‍රහණයකට වැඩි වශයෙන් බලපාන ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු සහ සංවිධායකවරු සමඟ පැවැත්වූ අතර රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, අජිත් මාන්නප්පෙරුම, නාලක ගොඩහේවා යන මහත්වරුන් සහ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකවරුන් මේ සඳහා එක්ව සිටියහ.
මහලේකම්වරයා කියා සිටියේ ගම්පහ පැවැත්වෙන “ජනපවුර” වැඩසටහන හරහා සමගි ජනබලවේගයේ මැතිවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරිමට සියලු කටයුතු සුදානම් කර තිබෙන බවයි. මෙම ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සුදානම් කර ඇති “ජනපවුර” වැඩසටහන කඩාකප්පල් කිරීමට බොහෝ දෙනෙක් කටයුතු කරමින් සිටින බවත් සමගි ජනබලවේගයේ නායකයාව සහ පක්ෂයේ ක්‍රියාකාරීන්ව කෙතරම් විවේචනය කළද එය පක්ෂයට කිසිසේත් බලනොපාන බවයි එතුමා සඳහන් කරන්නේ.
එහිදී අදහස් දැක්වූ සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
“භික්ෂූ උපදේශක සභාව, සමගි බුද්ධි මණ්ඩපය, සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, සමගි ගොව් සමුළුව, සමගි රණවිරු සම්මේලනය ඇතුළු සියලුම වැඩසටහන් සියල්ල මේ වනවිට ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා. භික්ෂූ උපදේශක සභා මේ වනවිට දිස්ත්‍රික්ක හතරක පවත්වා අවසානයි. අති සාර්ථක සමගි ගොව් සමුළු බොහෝ දිස්ත්‍රික්කවල පවත්වා අවසානයි. ඒ වගේම සමගි වනිතා බලවේගයේ සමුළු රට පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. සෑම ආසනයකම සමගි වනිතා බලමණ්ඩල පවත්වන්න කටයුතු කරලා තිබෙනවා.
ඒ වගේම 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 55 ක් ලබා ගත්තා. 2024 පැවැත්වෙන ජනාධිපතිවරණය ජයග්‍රහනය කරන්නනම් ඡන්ද ලක්ෂ 75 කට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුයි. ඒ නිසා සමගි ජන බලවේගය ඡන්ද මධ්‍යස්ථාන 12,700 ආවරණය වන පරිදි ගෙයින් ගෙට ගොස් නව සමාජිකයන් ලක්ෂ 20 ක් බඳවා ගැනීමේ කටයුත්ත ආරම්භ කළේ. එම ව්‍යාපෘතිය ආරම්භ කරලා සති දෙකක පමණ කාලයක් ගතවෙලා තිබෙනවා. එම ව්‍යාපෘතියෙන් නම සමාජිකයන් විශාල ප්‍රමාණයක් සමගි ජනබලවේගය සමඟ එකතු වෙලා තිබෙනවා. ඉදිරි සති දෙක ඇතුළත ඡන්ද ලක්ෂ 75 ඉලක්කය සම්පුර්ණ කරන්න සමගි ජනබලවේගයට හැකියාව ලැබෙනවා. සමගි ජනබලවේගයට ඡන්දය නොදුන්න විශාල පිරිසක් මේ ව්‍යාපෘතිය හරහා සමගි ජනබලවේගයට එකතු වෙලා තිබෙනවා. ඒ වගේම රටේ ඊළඟ ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාව පත් කරන්න අවශ්‍ය සංවිධාන කටයුතු තවත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය නියතයි. මේ වසරේ සැප්තැම්බර් ඔක්තොම්බර් වලින් පස්සේ රටට නව යුගයක් එළඹෙනවා”