රටේ සම්පත් විදෙස් රටවලට විකුණා ඩොලර් උපයා ගැනීම හැර වෙනත් කිසිදු ආර්ථික සැළැස්මක් වත්මන් ආණ්ඩුවට නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

අද (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරි මාස 06 ක කාලය සඳහා වන ආර්ථික සැළැස්මක් ඉදිරිපත් කළ බවත්, එදා හෙජින් ගිවිසුම වැනි ගිවිසුම් හරහා ආර්ථිකය කාබාසීනියා කළ අයුරින්ම ඉදිරි මාස 06 ක කාලය තුළදීද රටේ සම්පත් ඇමරිකාව ඇතුළු රටවල්වල විකුණා දමනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. යුගදනවි බලාගාරය හා LNG සැපයුම ඇමරිකානු සමාගමකට විකුණා දැමීම එහි එක් ක්‍රියාමාර්ගයක් පමණක් බවද හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

මහ බැංකුව විසින් ‍ඇමරිකානු ඩොලරය සිර කරගෙන තිබෙන බවත්, බැංකුවට බලපෑම් කර ඇමරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 203 ක සීමාවේ තබාගෙන ඇති බවත් පෙන්වා දෙන හෙක්ටර් අප්පුහාමි මහතා පවසන්නේ මේ නිසා කලු කඩයේ ඩොලරය රුපියල් 240 ට 245 ට විකිණෙන බවයි. මෙරට බැංකු මගින් නිකුත් කරන ණයවර ලිපි පවා පිළි නොගන්නා තත්වයට ශ්‍රී ලංකාවට භාණ්ඩ එවන විදෙස් සමාගම් පත්ව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.