අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳව ඇතැමුන් පැතිර වූ නාඩගමේ ඇත්ත අද වන විට හෙළිදරව් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව අච්චාරුවක් බවට පත්වී ඇති බවත්,ඒ අච්චාරු වෙච්ච ආණ්ඩුවක අන්තර්වාර ආණ්ඩු කරන්න හෝ එහි පාර්ශවකරුවන් වෙන්න සමගි ජන බලවේගය සූදානම් නැතැයි පැවසූ විපක්ෂ නායකතුමා ,තමන් මේ නාඩගම පිළිබඳව මුල සිටම දැන සිටි බවද පැවසීය.

විපක්ෂ නායකකම් හෝ ඊට වඩා ලොකු තනතුරු හෝ තමන්ට ආභරණ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ තනතුරු වලට වහල් වෙමින් ජනතා සටන පාවා නොදෙන බවද පැවසීය.

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (29) සිවුවෙන දිනයට දංඕවිටෙන් ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටී.

මේ විපක්ෂ නායකතුමා එහිදී කළ සම්පූර්ණ කතාවයි.

“අද මීරිගම ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ  ජනතාව එකතු වී සිටින්නේ නුවර සිට ඇරැඹුනු ඒ දැවැන්ත පාගමන ඒ ඓතිහාසික පොදුජන ගමන අවසානයේ මේ රටේ පොදුජන යුගයක් පොඩි මිනිහගේ යුගයක් රටේ ජනතාවගේ මතය නියෝජනය කරන ජනතාව ශක්තිමත් කරන යුගයක ආරම්භය නිර්මාණය කරන්නයි. ඒ වෙනුවෙන් අද අපි මේ පාගමන යන්නේ. මතක තබාගන්න පෝළිම්වල මේ රටේ සමස්ත ජනතාව ලතැවෙනවා. ගෑස්, පෙට්රල්, භූමිතෙල්, ඩීසල්, කිරිපිටි පෝලිමේ මේ හැම පෝලිමකම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනයා ලතවෙනකොට මේ රටේ තරුණ පරපුර ඒ අභීත සෙන්පතිවරුන්, ඒ ජන අරගලයේ නායකයන් ගාලුමුවදොර ඉදගෙන වීරෝධාර සටනක් ක්‍රියාත්මක කරන මේ අවස්ථාවේ හඬනඟා කියමු මුළු රටම ඔබ සමඟයි. මුළු රටම ජන අරගලය සමඟයි.

මිත්‍රවරුණි

දැන් දවසින් දවස බොහොම ලස්සන දේශපාලන ටෙලිනාට්‍ය නිර්මාණය වෙනවා. ඊයේ රාත්‍රියේ රට කාපු පොදු පෙරමුණු මන්ත්‍රි මණ්ඩලය තුළ ගහගන්නවා, රණ්ඩුකරගන්නවා. දැන් ජනාධිපතිවරයා කියනවලු මන්ත්‍රිවරු ඉදිරිපිට මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට යන්න කිව්වෙත් නැහැ, යන්න කියන්නෙත් නැහැ, අර ඩලස් මහත්තයා කිව්වලු ඉස්සර ඉදන්ම මහින්ද මහත්තයාව ඇසුරු කරා කියලා. ජනාධිපතිවරයා කීවාලු ඔයා ඇසුරු කරන්න ඉස්සරලා එයා මගේ අයියා කියලා.

මිත්‍රවරුණි, දැන් මණ්ඩලය ඇතුලේ කචල්. දැන් ඔය මණ්ඩලය අච්චාරුවෙලා තියෙන්නේ. දැන් අච්චාරුවෙච්ච මණ්ඩලය අපිට කියනවා අන්තර්වාර ආණ්ඩුවකට එන්නලු. අපි නම් විරුද්ධයි යන්න. අපිට පෙන්නන්න බලන්න අත් ඔසවලා ඔබලා විරුද්ධයි කියලා. අපේ මාධ්‍යෙව්දීතුමන්ලා අද රෑට පෙන්වන්න, දාන්න නොපෙන්වා ඉන්න එපා. මේ අත් ඔසවන්නේ අකමැති කියලා.

දැන් මිත්‍රවරුණි, මන්ඩලේ කචල්. මණ්ඩලේ කචල් එක බේරගන්න අපිට කියනවා බේරුම්කාරයෝ වෙන්න කියලා. අපිට කියනවා කියන ඕනදෙයක් දෙන්නම්, අරවා දෙන්නම් මේවා දෙන්නම්. දැන් අලුත් වැඩේ පටන්ගෙන. මන්ත්‍රි වෙන්දේසිය. මන්ත්‍රි සූදුව. මේගොල්ලන්ට පුරුදුයි පක්ෂ කඩලා. එක එක වරප්‍රසාද සල්ලි දීලා. හැබැයි මම එකක් කියන්නම් මේ සමගි ජන බලවේගයේ මේ සමගි ජන සන්ධානයේ අපේ ආදරණීය මන්ත්‍රිවරු වෙන්දේසියට නෑ. අලෙවියට නෑ. අපි ළඟ හොරු නෑ. අපි ළඟ හොර ඩීල් නෑ.

දැන් කනක් ඇහිලා ඉන්න නෑ. මට එනවා 24 පැයම කෝල්. මට කියනවා අන්තර්වාර පාලනයට එක්වෙන්න කියලා. එහෙම කියන ගමන් තර්ජනයකුත් කරනවා. අපි ළඟ සැලැස්ම තියෙනවලු විපක්ෂ නායකකම නැති කරන්න. මම එකක් කියන්න කැමැති මේ විපක්ෂ නායකකම් ගලවලා දාන්න මම ඕනෑම වෙලාවක සූදානම්. මම ලෑස්ති තනතුරු තාන්න මාන්න පට්ටම් ඕනෑම වෙලාවක  පරිත්‍යාග කරන්න. මොකද මට මේ රටේ කාටවත් නැති පට්ටමක් තානාන්තරයක් තියෙනවා. ඒ තනතුර තමයි පොදුජන ආදරය, අනුකම්පාව. ඒ තනතුර මට හොඳටම ඇති. ඒ නිසා මතක තියාගන්න මන්ත්‍රි වෙන්දේසි සූදුවට අපි නෑ. සල්ලි නෑ ගනුදෙනුවලට අපි නැහැ. දැන් කෝටි ප්‍රකෝටිපතියන් පුංචි කොටසක් අර බිලියන 600ක බදු සහන ගත්තු අය පංගුව තියාගෙන ඉන්නවලු මන්ත්‍රිවරු ගන්න. අපි කියන්න කැමති මේ පාදඩ මේ පහත් මේ තුච්ඡ දේශපාලන සංස්කෘතියට විරුද්ධවයි අර ජන අරගලයේ තරුණ පරපුර නැඟී සිටියේ. අපි සදාකාලිකව ජන අරගලය සමඟයි ප්‍රකාශ කරනවා

.