අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු යෝජනවා අද පාර්ලිමේන්තුවේ පරාජය වී තිබෙන බවත්
අගමැති ගත්ත පළවෙනි ප්‍රතිප්තිය අද පරාජය වී තිබෙන බව හා
සමහරවිට මෙය අගමැතිවරයා ලබන පරාජයන් වැලක පළමුවැන්න බව ද, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණි කවිරත්න පවසා සිටියාය .

අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් වැල ආරම්භ වෙන බව ද, ඇය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය .

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව රෝහිණී මන්ත්‍රීණිවරිය සිදු කළ සම්පූර්ණ කතාව,

ගරු කතානායකතුමනි,

නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද ඉදගෙන කටයුතු කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කේන්තියකින් නෙවෙයි, උපහාසයෙන් කියන්නේ, මම පාර්ලිමේන්තුවේ වාචික හිංසනයට යොමු වන විට කතානාය පුටුවේ හිටපු අජිත් රාජපක්ෂ සමඟ මට තරඟ කරන්නට සිදුවීම දෛවයේ සරදමක් විදිහට මට සලකනවා.
ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායක, නියෝජ්‍ය කතානායක පමණක් නෙවෙයි නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරටවත් කාන්තාවක් පත්වී නැහැ.
ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිකරපු රටේ,
විධායක ජනාධිපති ධූරයට කාන්තාවක් පත් කර ගත් රටේ,
පාර්ලිමේන්තුවේ මුල් පුටුවලට තවමත් කාන්තාවකට පත් වෙන්නට අවස්ථාවක් නෑ.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිසක්, මේ පාර්ලිමේන්තුවේ නොවෙයි.

ගරු කථානායකතුමනි,
නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමට ඡන්දයක් පවත්වලා, මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් කාබාසිනියා කළා. මේ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් වුණා.
2004 පැය 9 ක් පුරා දිග් ගැසුණු ඡන්දයකින් පසුව වී.ජ.මූ. ලොකුබණ්ඩාර මැතිතුමා කතානායක තනතුරට පත් වූ අවස්ථාව මට සිහි වෙනවා.
මේ පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන කතාව මට මුලින්ම ඇහුනේ, ලොකුබණ්ඩාර මැතිතුමන් කථානායක තනතුරට පත් 2004 අප්‍රේල් 4 දිනයි.
පසුගිය දා, ආයෙත් රටම ගිණිගත්තේ නියෝජ්‍ය කථානායක තනතුරේ අස්වීම, අස්වීම කල්ගැනීම, ඡන්දය, නැවත ඉල්ලා අස්වීම නිස යි.
2004 ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගිණිගත්තා
2022 රටම ගිණිගත්තා.
මම ලංකා පාර්ලිමේන්තුවේ මේ අවසනාවන්තම සිදුවීම් දෙක ඇසින් දැක්කා.
තුන්වන අවස්ථාවේ පාර්ශවකරුවෙකු වෙන්නටත් සිදුවුණා.
මම මේ බල දේශපාලනයේ පාර්ශවරුවෙකු බවට පත්වීම පිළිබඳ කණගාටු වෙනවා.

ගරු කථානායකතුමනි,
ජවහල්ලාල් නේරු තුමන් පැවසූ දෙයක් මට සිහිවෙනවා
‘අර්බුදයක දී සෑම කුඩා දෙයක්ම ගණන් ගැනෙනවා’ කියලා
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා වු ඡන්දය ලංකා පාර්ලිමේන්තු අර්බුදයේ දැවැන්ත බිදවැටීමක් ලෙස ඉතිහාසයට එක් වෙනවා.
1975 ඇමරිකානුවේ බිහිවූ සුවිශේෂම කතානායකවරයෙකු වන කාර්ල් බී. ඇබර්ට් ගේ කතාවක් මට මතක් වෙනවා.
‘මම කාගේවත් අත අඹරන්නේ නෑ. මම අතට අත දෙනවා’
මට මේ තනතුර වෙනුවෙන් කාගෙවත් අත අඹරන්නට ගියේ නෑ. මම ඒ වෙනුවට, මේ රටේ සියළුම ජනතාවට, අරගල භුමියෝ සිටින තරුණයින්ට, සහෝදරත්වයේ, මිත්‍රත්වයේ, ශිෂ්ඨත්වයේ දෑත දිගු කරනවා.
රොහිණී කවිරත්න කවුද කියලා පසු පෙළේ මන්ත්‍රීවරයෙක් ඇහුවා. අහගන්න.
මාගේ නම මේ තනතුරට යෝජනා කළ බවට විපක්ෂ නායකවරයාගේ ටුවිටර් පණිවුඩය දකින තුරු මම ඒ බව දැන සිටියේ නෑ.
මට අභියෝගයක් බාර දුන්නාම එය බාරගන්නවා. අභියෝගයක් බාරගත් පසු එයින් පැන යන්නට මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මගේ අත්තා මුතුබණ්ඩා මැතිතුමා, මගේ පියා විජේරත්න බණ්ඩා, මගේ මාමා පි.බී.කවිරත්න, මගේ ස්වාමියා සංජීව කවිරත්න වත් අභියෝග හමුවේ පැනලා ගියේ නෑ.
ඊයේ හවස වෙනක් තිබ්බ එකඟතාවය ඊයේ රූ විනාශ වුණා. ඒ රාජපක්ෂවරුන්ට මාව එපා වුණා. ඒ රාජපක්ෂවරුන්ගේ හොරකම් වංචා මම හෙළිකරපු නිසයි.

හැබැයි මිනිස්සුන්ගේ බදු සල්ලි විනාශ කරමින්,
ඔවුන්ගේ කෝපයට, වෛරයට ගොදුරු වෙන තැනට මේ පාර්ලිමේන්තුව අදත් පත්වීම ගැන මා කණගාටුවෙනවා.
අපේ තරුණයින් ගෝල්ෆෙස් පිටියේ, ගාල්ල, මහනුවර, අනුරාධපුර දැන් දවස් 39 ක් අරගල කරනවා.
ගොල්ෆේස් අරගලයට පහරදුන් දේශපාලනඥයින්,
මැරයින් තවමත් නීතිය හමුවට පමුණුවා නෑ.
එයට මාවත සකසා දුන් පොලිස් නිලධාරීන් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.

ගෑස් පොලීම්, ඉන්ධන පොලීම් මැදින් හමුදා බෆල් රථ ගමන් කරනවා.
මේක හදිසි නීතිය දැමූ රටක්.
අද අපි අවදි වුණේ ඇඳිරි නීතිය තිබුණු රටක.
රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ නෑ.
මිනිස්සුන්ගේ රස්සා නැතිවෙලා.
දරුවන්ට අධ්‍යාපනය නෑ.
ලබන සතියේ සා.පෙ. විභාගයට ලියන ළමයින්ට විභාග මධ්‍යස්ථානයට යන්න බස් රථයක් තියේදැයි සැකයි.


රටම බලාගෙන ඉන්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුද කියන ඒක නෙවෙයි.
මේ රටේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව දෙන උත්තර මොකක්ද කියන එකයි.

මතක තියාගන්න මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මේක නෙවෙයි.
අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි.
තරුණයෝ මැරුණේ, ඔළු පලාගත්තේ මේකට නෙවෙයි.
මම ඉන්නේ අරගල බිමේ තරුණ්‍යයක් ඒකක් මිසක් අවස්ථාවාදී බලලෝභි දේශපාලනයත් එක්ක නෙවෙයි.
නියෝජ්‍ය කතානායක ධූරයට මාගේ නම යෝජනා කළ, ස්ථිර කළ සැමට මගේ ස්තුතිය පිරිණමනවා.
මම මේ තනතුරට සුදුසු යැයි ප්‍රසිද්ධියේ කියූ අරගල භුමියේ තරුණ තරුණියන්ට ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ට මම ස්තුතිය පළ කරනවා. එහෙම කිව්ව උගත් බුද්ධිමත් සැමටම මම ස්තුතිවන්ත වෙනවා.
පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිතුමාගේ පළමුවෙනි යෝජනාව කාන්තාවකට මේ තනතුර ලබාදීමයි.
අගමැති ගේ පළමු යෝජනවා අද පාර්ලිමේන්තුවේ පරාජය වෙලා තියෙනවා.
අගමැති ගත්ත පළවෙනි ප්‍රතිප්තිය අද පරාජය වී තිබෙනවා.
සමහරවිට මෙය අගමැතිවරයා ලබන පරාජයන් වැලක පළමුවැන්නයි.

අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් වැල ආරම්භ වෙනවා.
රාජපක්ෂවරු තමන්ගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වන බව පැහැදිලියි.
මෙවැනි සුළු කටයුත්තකට වත් අගමැතිවරයාට එකඟත්වයක් ලබා ගැනීමට අගමැතිවරයාට බැරි වෙලා නෑ.
අද ආණ්ඩුව කරන්නේ ජනපති හෝ අගමැති නෙවෙයි කළුපාට කුරුල්ලෙක් පමණයි.
මතක තියාගන්න, මිනිස්සු කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලයි.
ඒ ඉල්ලීම ඉටු වනු තුරු අරගලය ඉදිරියට යනවා.
ඒ ඉල්ලීම ඉටුවන තුරු පාර්ලිමේන්තුවේ අපගේ අරගලයත් ඉදිරියට යනවා.

අගමැතිතුමා ඊයේ ජාතික අමතා කළ කතාවේ කියූ කරුණු අතිශයින්ම වේදනාත්මකයි.
හැබැයි, අද නියෝජ්‍ය කතානායක තනතුර සඳහා ඇතිකර ගත්ත ඒකඟතාව රකින්නට බැරුව රටට දෙන පොරොන්දු ඉටු කරන්න බැරි වෙයි.
ගෝල්ෆේස් සහ මහනුවර අරගලයට පහරදීම
ෛඒතිහාසික වරදක්.
එය නිවැරදි කළ යුතුයි
ඒ වරද සිදුකළ සැමට දඩුවම්i ලැබිය යුතුයි.
ප්‍රහාරය සිදු කළ, දායක වුණු සියළු දෙනා අත්අඩංගුවට ගත යුතුයි.

තරුණයිනි, ඔබලාගේ අරගලයේ ජයග්‍රහණය කරන දවසේ,
අදට වඩා යහපත් පාර්ලිමේන්තුවක් මේ රටේ අනිවාර්යෙන්ම බිහිවේවි.
කන්තාවකට පාර්ලිමේන්තු කතානායක ධූරයට පත්වීමට අවස්ථාවක් සැලසෙන රටක් බිහිවේවි.

ඒ දවස උදා කරන්නට, මේ පාර්ලිමේන්තුව අදට වඩා ශිෂ්ඨ හා ගෞරවනීය තැනත් කරන්නට මම කැපවෙනවා.
ස්තුතියි,

රෝහිණී කුමාරි විජේරත්න