අද වන විට බාර් පර්මිට්වලට වයින් ස්ටෝස්වලට ප්‍රතිපත්ති, ආත්මය පාවා දුන් අය හෙළිදරව් වී ඇති බවත් තමන්ගේ ජීවයත් ජන්මයත් තුට්ටු දෙකට අලෙවි වන දේශපාලන සංස්කෘතියක් අප රටේ ඇති බවත් මේ ජ⁣රා ජීරණ වූ දේශපාලන සංස්කෘතිය නතර කළ යුතු බවත් මන්ත්‍රීවරුන් ගන්න හෝ ළඟ තබා ගන්න සමගි ජන බලවේගය එකදු රුපියලක් හෝ වැය කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් ඉන්න ජනාධිපතිවරයා යුඇන්පි නායකයා ලෙස සිටින විට පක්ෂ මාරු කිරීමට සූදානම් වූ මන්ත්‍රීවරුන් 17ක් සිංගප්පූරුවට යැවූ බවත් ඔහු එසේ කළාට තමා එවැනි මුදල් නාස්තියක් සිදු නොකර ඒ මුදල් සක්වල හා හුස්මට වැය කරන බවත් මේ පගා දේශපාලන සංස්කෘතිය නතර කළ යුතු බවත් වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ මත පදනම් වූ දේශපාලන ගමනක නොගියත් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමඟ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගිවිසුමකට එළැඹීම සිදු වූ අවස්ථාවේ දීය.

යුද්ධයෙන් පසු කිසිම රජයක් උතුරු නැගෙනහිරට හරියට කළේ නැහැ

යහපාලන ආණ්ඩුවේ තමාට කැබිනට් ඇමතිකම් ලැබෙන විට තමා එවක ජනාධිපතිවරයාට අගමැතිවරයාට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන ලෙස යෝජන කළ බවත් රාජපක්ෂවරු ආගම්වාදය ජාතිවාදය ඇවිස්සුවා මිස මෙවැනි දෙයක් නොකළ බවත් මෙවැනි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් හරහා ⁣උතුරු නැගෙනහිර පළාත් දියුණු වන බවත් ඊට අමතරව ඒ හරහා රටම දියුණු කළ හැකි වුවත් අද වන තුරු එවැනි දෙයක් සිදු නොකළ නිසා සමගි ජන බලවේග රජයක් තුළ කෙටි කාලයක් තුළ උතුරු නැගෙනහිර ගොඩනගන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මෙවැනි සමුළුවක් හරහා උතුරු නැගෙනහිර ජනතාව සවිබල ගැන්විය හැකි බවත් ගෝඨාභය රජයත් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට පවා එවැනි සමුළුවක් කැදවන්න නොහැකි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොන්දේසි විරහිතව පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා

පලස්තීන ජනතාව දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දී ඇති මොහොතක මේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් සාමකාමී අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවත් පලස්තීන ජනතව ට පහර පිට පහර ගසා මෙි ජනතාව විනාශ කරන ව්‍යාපෘතියක ඊශ්‍රායල් රජය කටයුතු කරන බවත් සෙසු පාලකයන් මේ ගැන කතා කරන්න බය වුවත් තමා ඇත්ත සෘජුව කතා කළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

හිට්ලර් ජර්මනියේ යුදෙව් ජාතිකයන් ඝාතනය කළා සේ ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාව විනාශ කර ඝාතනය කරන බවත් කාටවත් ජීවිත නැති කිරීමේ අයිතියක් නොමැත් බවත් මේ රටවල් දෙක සාමකාමීව සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ජීවත් වියයුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මැදපෙරදිග සාමය ස්ථාපිත කිරීමට මැදිහත්කරුවකු ලෙස සමගි ජන බලවේග රජය මැදිහත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා සිට මුස්ලිම් ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ සජබේ අපි

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රබල අය හිටියත් ඉස්ලාමීය ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආදාහනය සහ භුමදානය යන ගැටලුවේදී උල්ලංඝනය වන විට ඒ කවුරුත් කතා නොකළත් සමගි ජන බලවේගය මිනිසත්කම වෙනුවෙන් එදවස පෙනී සිටි බවත් වද කොත්තු, වද පෙති කිය කියා පාලකයෝ රට වටේ ජාතිවාදය ඇවිස්සු බවත් දොස්තර ෂාපි වෙනුවෙන් පවා පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් පෙනී සිටි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපි තමයි හොදටම කරන්නේ කිය කිය පාලකයෝ WHO එකේ තීන්දු පවා නොසලකා හැර කටයුතු කළ බවත් ඉස්ලාම් ප්‍රජාවට පහර පිට පහර දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.