වර්තමානයේ ආණ්ඩුව විසින් සමාජගත කර තිබෙන ජනාධිපතිවරණය නොපැවැත්වීම  පිළිබඳව කතිකාවත පිළිබඳව සහ එහි නෛතිකමය තත්වය පිළිබඳව අද (18) උදැසන පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැහැදිලි කළේය.

2024 එළඹෙන ජනාධිපතිවරණය කිසිසේත් නොපවත්වා සිටිය නොහැකි බව පැවසූ මහාචාර්යවරයා මේ වන විට වත්මන් ආණ්ඩුව විසින් ජනතා පරමාධිපත්‍ය වන මැතිවරණ වලට සිදුකර තිබෙන තත්වය පිළිබඳව දීර්ඝව සකච්ඡා කරනු ලැබීය.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසකි,

ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ වලින් පාර්ලිමේන්තු මැතිවරණය සුවිශේෂී වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක් ලෙස පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වන පරිච්ඡේදයේ 96 වගන්තියෙන් මැතිවරණ කොට්ටාස පිළිබඳවත් 99 වගන්තියෙන් සමානුපාතික ක්‍රමය පිළිබඳවත් ප්‍රතිපාදන ලබා දී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය එහෙමත් නැතිනම් ජාතික මැතිවරණය වෙනස්කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවම වෙනස් කල යුතුව තිබෙන අතර පාර්ලිමේන්තුව තුලදී අද පස්වරු 3ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට මේ පිළිබඳව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මැතිවරණයක් ලං වන විට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව මතක් වීම වත්මන් ආණ්ඩුවේ පුරුද්දක් මෙන්ම මැතිවරණ කල් දැමීමේ සටකපට ක්‍රියාවකි.

අවුරුදු හතර හමාරක්  කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය පවා වෙනස් කර තිබෙන අතර එය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී අවුරුදු  හතර හමාරකට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කර තිබීම හරහා එතැන් සිට මේ දක්වා පළාත් සභා මැතිවරණ පවත්වා නොමැත.

පළාත් පාලන මැතිවරණයටත් කර තිබෙන්නේ මෙවැනිම ක්‍රියාවක් 8500ක් වන පළාත් පාලන නියෝජිතයින් හරි අඩකින් අවම කිරීම පිළිබඳව කතාවක් ආරම්භ කලේ මැතිවරණය පැවැත්වීමට දින පවා නියම කර තිබියදීය. කෙසේ හෝ මේ වන විට පළාත් පාලන මැතිවරණයත් දින නියමයකින් තොරව කල් දමා ඇත.

නව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ආණ්ඩුවට කියා සිටියේ ප්‍රමාද වී තිබෙන මැතිවරණ දැන්වත් පවත්වන ලෙසයි.

අද සවස මේ පිළිබඳව පවත්වන සකච්ඡාවට සහබාගී වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ එතරම් කැමැත්තක් නොදක්වන්නේ ආණ්ඩුවේ මෙම මැතිවරණ කල්දමන දෙබිඩි ක්‍රියා පිළිවෙත් නිසාය.

වසර 45ක් පැවති විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තුලින්  ජන වරමක් නොමැති වත්මන් රජයේ ආයුෂ කාලය තව වසරකින් වැඩි කරගැනීම අපේක්ෂා කරයි.

ආණ්ඩුව තුල වර්තමාන ජන මතය කිසිසේත් නියෝජන වන්නේ නැත. මෙම පාර්ලිමේන්තුව තුල හදන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කල් පවතින්නේ නැත එමනිසා වහාම ජාතික මැතිවරණයක් කැදවා ජනමතයක් සහිත පාර්ලිමේන්තුවකින් නව ව්‍යවස්ථාවක් ගෙන එම වැදගත්.

දශක 4ක් පුරාවට විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන මගින් විධායක ජනාධිපතිවරයාට ලැබෙන අසීමිත බලතල හේතුවෙන් විවේචන ඉදිරිපත් කර ඇති නමුත් වත්මන් රජය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කතිකාවතක් අරඹා තිබෙන්නේ කෙසේ හෝ ජනවරමක් නොමැතිව තව වසරක් බලයේ රැදී සිරිමටයි.

ජනතාව විසින් නෙරපා හරිනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පසුව වැඩබලන ජනාධිපතිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ඇති අතර 69 ලක්ෂයක ජනවරම කිසිසේත්ම ඔහුට අදාළ වන්නේ නැත. එවන් අනුප්‍රාප්තික වැඩබලන ජනාධිපතිවරයකුට ඉදිරි දශක ගණනාවකට ජනතාවට බලපාන අනපනත් වෙනස් කිරීමට සධාචරත්මකව බලයක් නොමැත.

2024 ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබාගෙන ජනතා හමුවට ගොස් ජනමත විචාරයක්ද පැවැත්විය යුතුව තිබේ.  විධායක ජනධිපති ධූරය අහෝසි කිරීම හොද යෝජනාවක් වුවත් ජනාධිපති ධූරය අහෝසි වීම මගින් සුජත බවයක් නොමැති වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් තවත් අවුරුදු දෙකක් ඉවසා සිටීමට සිදුවේ.

විශාල අරගලයකට සම්බන්ධ වූ ජනතාව පසෙකට වී, වර්තමානයේ තිබෙන ආර්ථික, සමාජයීය ගැටළු දෙස බලා සිටින්නේ 2024 ජනාධිපතිවරණය පවත්වා නව බලවේගයක් පිහිටුවීමට ඇත්තේ තවත් මාස 11ක් පමණක් නිසාවෙනි. නමුත් ආණ්ඩුව ජනාධිපතිවරණය අහෝසි කිරීම තුලින් තවත් වසර දෙකක් ජනතාවට මෙම දුක්ඛ දෝමනස්සයන් ඉවසා දරාගෙන සිටීමට සිදුවනු ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ජනමත විචාරණයේදී ජනතාව හමුවට එන ප්‍රශ්නය වන්නේ ජනමතයකින් තොර, මර්ධනකාරී, ඒකාධිපති මෙම දූෂිත ආණ්ඩුව යටතේ තවත් වසර දෙකක් සිටිනවාද නැද්ද යන්නයි.

මිට පෙර එක වතාවක් ශ්‍රී ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්වූ අතර එය පවත්වා ඇත්තේ ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කල ජේ.අර් ජයවර්ධන මහතා 5 /6ක බලයක් තිබූ පාර්ලිමේන්තුව තවත් වසර 6කට දීර්ඝ කරගැනීම සදහායි.

ඉතිහාසය තුල කිසිදි දිනක ජනාධිපතිවරණයක් නොපැවැත්වීමට හෝ ජාධිපති ධූරය දීර්ඝ කරගැනීමට ශ්‍රී ලංකාව තුල ජනමත විචාරණයක් පවත්වා නැති අතර 2024 ඔක්තෝම්බර් මාසයට පෙර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර එය නොපැවැත්වීමට කිසිදු අවස්ථාවක් නොමැත.