අල්ලස්, දූෂණ හා වංචා  සිදුවීම් නිසා Black List වෙන සමාගම් ගැන තොරතුරු වත්මන් රජය විසින් සඟවනවා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිකරයි.

ටෙන්ඩර් ක්‍රමවේදය, ප්‍රසම්පාදන ක්‍රමවේදයට පටහැනිව දූෂිතව, වංචාසහගතව අල්ලස් ලබා දී වැරදි වැඩ තුළින් අසාදු ලේඛන (Black List) ගත වූ සමාගම් ඇති බවත් ලෝකයේ වෙනත් රටවල එවැනි සමාගම් සම්බන්ධ තොරතුරු පොදු ක්‍රමයක් හරහා රටේ ජනතාව පවසන බවත් නේපාලයේ එවැනි සමාගම් 629ක් බංගලාදේශයේ එවැනි ආයතන 510ක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ටෙන්ඩර් වංචා ඇතුළු වැරදි ආකාරයට කටයුතු කළත් එම සමාගම් අසාදු ලේඛනයට ඇතුළත් නොවූ දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවත් මෙවැනි අසාදු ලේඛන සම්බන්ධ දත්ත ගබඩාවක් හෝ අප රට තුළ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ මේ ක්‍රමය වෙනස් කරන බවත් සමගි ජන බලවේග රජයක් තුල හොරවැඩ නිසා අසාදු ලේඛන ගත වෙන කොටි ගණනක් හොරා කා වංචා කිරීම නිසා අසාදු ලේඛන ගත වන සෑම ආයතනයක්ම පොදු දත්ත ගබඩාවක් හරහා රටේ ජනතාවගේ දැන ගැනීමට ප්‍රසිද්ධ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එවැනි අසාදු ලේඛන ගත කරන ලද සමාගමක් සමඟ ආණ්ඩුව ගිවිසුම් ගත වී ඇත්නම් ඒ ගැන දැන ගැනීමෙ අයිතියි බදු ගෙවන ජනතාවට ඇති බවත් ඒ අයිතිය ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර කැබිතිගොල්ලෑව ඇටවීරවැව මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 105 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ව්‍යාජ සමාජවාදීන්ගේ දිව දෙකේ කතාවලට රැවටෙන්න එපා

අලුතින් බිහි වී ඇති වාමාංශික නායකයෝ දේශීයත්වය, නිදහස් අධ්‍යාපනය රකින්න ඕනෑ යැයි පවසමින් අධ්‍යාපන ක්‍රමය අලුත් වීමට ඉඩ නොදී ඔවුන්ගේ දරුවන් පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන බවත් මෙවැනි දිවදෙකේ කතාවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල්, කර්මාන්තශාලා, බස් රථ ගිණි තියපු කණ්ඩායම් බලයට පැමිණිමට උත්සාහ දරන බවත් කර්මාන්තශාලා විවෘත කිරීමට පවා ඉඩ ලබා නොදී මරණ තර්ජන සිදු කළ බවත් මෙවැනි ප්‍රචණ්ඩකාරි ක්‍රියා සිදු කළ පුද්ගලයන්ගෙන් රටට විසදුමක් ලැබිය හැකි යැයි සිතිය නොහැකි බවත් රට ගොඩ ගත හැක්කේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනයෙන් බවත් මේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේදී පවා නිවැරදිව ගොඩ ආ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ඉන්නේ සෝබන නායකයෝයි කයිය ගහන නායකයොයි විතරයි

එකදු පරිගණකයක් හෝ නොමැති පාසල් රාශියක් රටේ තිබුණත් රජයට ඒ ගැන තැකීමක් නොමැති බවත් එම නිසා බොහෝ පාසල් විපක්ෂ නායකවරයා සොයා පැමිණ මෙම අඩුපාඩු ගැන පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල්වලට පරිගණක දෙන්න බැරි වුණාට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් ජනතාවගේ බදු මුදලින් ලෝකය වටේ ඇවිදිමින් සිටින බවත් මෙය විහිලුවට කරුණක් බවත් මෙවැනි සෝබන නායකයෝ සහ රැස්වීම් පවත්වා කයිය ගහන කයිය නායකයෝ සියල්ල මහපොළොවට පය ගසා නොමැති බවත් රටේ අධ්‍යාපන ක්‍රමය කඩන් වැටෙන මොහොතේ ඔවුන් සුරංගනා ලෝක මවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 105ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1042ක් වැය කර තිබේ.